දෑසින් බලනවා වෙනුවට - TopicsExpress



          

දෑසින් බලනවා වෙනුවට මනසින් බැලීම ගැඹුරුයි එච්.ඒ. කරුණාරත්න එච්.ඒ.(හෙට්ටිආරච්චිගේ) කරුණාරත්න අද මෙරට සිටින විශිෂ්ටත ම චිත‍්‍ර ශිල්පීන් කීපදෙනාගෙන් ප‍්‍රමුඛයෙකි. 1952 දී රජයේ ලලිත කලායතනයට බැඳුණු ඔහු 1958 වනතෙක් එහි චිත‍්‍ර කලාව උගත්තේ ය. 1959 දී ජපානයට ගිය කරුණාරත්න ලලිත කලා හා සංගීතය පිළිබඳ ටෝකියෝ ජාතික විශ්වවිද්‍යාලයෙන් වැඩිදුරටත් චිත‍්‍ර ශිල්පය හදාළේ ය. 1965 දී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් මත ඇමෙරිකාවට ගිය කරුණාරත්න ප‍්‍රැට (PRATT) ආයතනයෙන් ග‍්‍රැෆික් කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදුණේ ය. මහාචාර්ය ජගත් වීරසිංහ සඳහන් කර ඇති පරිදි එවකට අන්තර්ජාතික චිත‍්‍ර කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛත ම චිත‍්‍ර කලා ප‍්‍රවණතාවන් වූ ඇමෙරිකානු වියුක්ත ප‍්‍රකාශනවාදී (ABSTRACT EXPRESSIONISM) චිත‍්‍ර ලක්ෂණ සහ අවමවාදී (MINIMALISM) චිත‍්‍ර ලක්ෂණ මෙරට සෞන්දර්ය අධ්‍යයන ආයතන තුළත් පොදුවේ ශ‍්‍රී ලාංකේය නූතන චිත‍්‍රය තුළත් පැලපදියම් කළේ කරුණාරත්නයන් ය. 1975 දී රජයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට කථිකාචාර්යවරයකු ලෙස බැඳුණු කරුණාරත්න 1989 වන තෙක් එම සේවාවෙහි යෙදී සිටියේ ය. එච්.ඒ. කරුණාරත්න ගේ මුල් ම ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙරට පැවැත්වූයේ 1959 දී ය. එදා මෙදා තුර ඔහු ගේ ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශන දහයක් පමණ ද, සාමූහික චිත‍්‍ර ප‍්‍රදර්ශන දහයක් පමණ ද මෙරට දීත් විදේශීය රටවල දීත් පවත්වා ඇත. මෙරට චිත‍්‍ර ශිල්පියකු ගේ චිත‍්‍රයක් විදේශ රටක වැඩි ම මිලකට විකිණී ඇත්තේ එච්.ඒ. කරුණාරත්න ගේ ය. ඒ 1989 දී ය. ඔහු ගේ ‘රිද්මය’ නමැති චිත‍්‍රය ජපානයේ ෆුකෝකා කලා කෞතුකාගාර පදනම විසින් ලක්ෂ ගණනක මුදලකට මිලට ගන්නා ලදී. ’පිරිනිවන’, ‘දුෂ්කර කි‍්‍රයාව‘, ‘ශ‍්‍රී පාද’, ‘මායා සිහිනය’, ‘බුදු ගේ’, ‘පෝදා දාගැබ’, ‘ගොදුරු සොයා’, ‘සැනසුම’, ‘රැව්දෙන දෙරණ’, ‘වැස්ස පසුබායි’, ‘උඩු ගුවනට’ කරුණාරත්නයන් ගේ විශිෂ්ට චිත‍්‍ර නිර්මාණ අතර වෙයි. විචාරකයන් සඳහන් කර ඇති ආකාරයට කරුණාරත්නයන්ගේ චිත‍්‍ර බෞද්ධ දර්ශනයෙන් ලත් නොමඳ ආභාසයෙන් නිර්මාණය වූවකි. අපේ චිත‍්‍ර ශිල්පීන් අතර බෞද්ධ දර්ශනයේ ප‍්‍රභාවත් ආභාසයත් නොමඳව ලද චිත‍්‍ර ශිල්පියා එච්.ඒ.කරුණාරත්න බව ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී කලා විචාරක තිලකරත්න කුරුවිට බණ්ඩාර ප‍්‍රකාශ කර ඇත. (සම්භාෂණ – නවයුගය 1988 ජූලි 31) එච්.ඒ.කරුණාරත්න ජාතික මෙන්ම අන්තර්ජාතික වට්ටමෙන් ද සම්මාන රැසක් හිමිකරගෙන සිටින අද්විතීය සිත්තරෙකි. චිත‍්‍ර ශිල්පියකු වීමේ ඔබේ සංස්කෘතික පසුබිම මොකද්ද? මගේ ගම බණ්ඩාරගම, කොතලාවල. අපේ ගම පැරණි රාජධානියක්. රජමාලිගාවල සේවය කරපු කුලවල කට්ටිය පසුකාලීනවත් ඒ ප‍්‍රදේශවල පරම්පරාගතව වාසය කළා. කම්මල්කරුවෝ, කුඹල්කරුවෝ වගේ අය තමන්ගේ රැකියා කරගෙන ගියා. අපි කුඩා කාලෙ කැමැතියි ඒව බලන්න. ඒවා විඳගන්න. කම්මල්කරුවා යකඩය පණ පොවන හැටි, තලන හැටි අපි උනන්දුවෙන් නැරඹුවා. ඔහු නැති වෙලේට ඒව කරල බලන්නත් කැමැති වුණා. කුඹල්කරුවා හැඩ කරමින් මැටි පිඩ රවුම් කරන හැටි අපි ආසාවෙන් උනන්දුවෙන් බලා උන්නා. ඒ අය කිසිම විශ්ව විද්‍යාලෙකට ගිහිං නැහැනෙ. ඒත් බලන්නකො වැඩේ අපූරුව. පසුකාලීන ව මගේ නිර්මාණවලින් මතුවෙන්නෙ ඒ විඳගත් දේවල්වල ලක්ෂණ තමයි. ඔබ ගුරුවරුන් ලෙස සලකන්නේ කවුද? ඔයත් මගේ ගුරුවරයෙක්. මම හැම කෙනෙක් ගෙන් ම ඉගෙන ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගෙනුත් ඉගෙන ගත්තා. ජීවිතයේ සෑම විටක ම පාඩම් ඉගෙන ගනිමින් ඉහළට යන අවස්ථා මතුවෙනවා. මම හැම තැනකින් ම හැම දෙයකින් ම ආභාසය ලබාගත්තා. ඔබ ක්ෂේත‍්‍රයට පිවිසෙන විට එවක ජනප‍්‍රියව සිටි ශිල්පීන්? ජේ.ඩී.ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, ජස්ටින් පීරිස් දැරණියගල, ජෝර්ජ් කීට් තවත් හුඟක් අය හිටියා. ස්ටැන්ලි අබේසිංහ ගේ ‘කුඹල් හල’ නමැති සිතුවම පිළිබඳව ඔබේ අදහස? (හේවුඩ් ආයතනයේ නූතන කලාව ආයතනගත වන්නේ මේ සිතුවමත් සමඟ බව පැවසේ.) එය උසස් කෘතියක්. අපි ඉගෙන ගන්න කාලෙ ඒකට වශීවෙලා තියෙනවා. ඒ කාලෙ ස්ටැන්ලි අබේසිංහ තමයි ඉදිරියෙන් ම හිටියේ. වියුක්ත චිත‍්‍ර කලාව ගැන මොන වගේ අදහසක් ද ඔබ දරන්නේ. යම්කිසි කලාකරුවකු ගේ නිර්මාණාත්මක භාෂාවේ උච්චත ම පිරිසිදුවීමක්. භාෂාවෙන් ප‍්‍රකාශ කළ නොහැකි තවත් කෙනකුගේ නෙතට නොව මනසට කතා කළ හැකි ඉතා ම ප‍්‍රබල භාවමය ප‍්‍රකාශනයක්. නෙත පරයා මනසට කතා කිරීම විශිෂ්ට දෙයක්. හරියට පුද්ගලයකුගේ මතුපිට බලනවා වෙනුවට ඔහුගේ ඇතුළාන්තය කොනිත්තලා බලනවා වගේ දෙයක්. හේවුඩ් ආයතනය වැනි ශාස්ත‍්‍රාලීය කලාව වඩා විධිමත් ව උගන්වන ආයතනයකින් ශික්ෂණය ලද ඔබ යථාර්ථවාදී චිත‍්‍ර ප‍්‍රවණතාව වෙනුවට වියුක්ත වූ ප‍්‍රකාශන ප‍්‍රවණතාවයක් තෝරා ගත්තේ ඇයි? තෝරාගත්තේ නැහැ. එය ඉබේ ම සිදු වුණ දෙයක්. ඒක හරියට ගඟක් ගලාන යනවා වගේ දෙයක්. තැන්තැන්වල නතර නොවී කෙළින් ම ගලාගෙන ගිහින් මුහුදට වැටෙනවා. ගංගා කීයක් මුහුදට වැටෙනවද? මුහුදෙ දී ඒවාට නම්ගම් නැහැ. මුහුදේ දී එම ගංගා සියල්ල ම එක් ව විශ්වීය දෙයක් බවට පත් වෙනවා. මුල් කාලයේ දී අපි ස්වාභාවිකත්වයට මුල් තැන දී නිර්මාණ කළත් පසුව අපට එහි ඇතුළාන්තය සෙවීමේ කැමැත්තක් ඇති වෙනවා. මලක් සජීවී ව නෙතින් බලනවා වෙනුවට මනසින් බලනවා. එය ගැඹුරු දෙයක්. භාෂාවකින් තේරුම් කර දී ම අපහසු දෙයක්. චිත‍්‍රයක් නම් කිරීමෙන්, රස විඳීමේ දී පෙ‍්‍ර්ක්ෂකයාට පහසුවක් සැලැසෙනවාද? නොමැති නම් එය නුසුදුසු දෙයක් ද? ඔය ප‍්‍රශ්නය අහන කෙනා මුකුත් නොකර ඉන්න කෙනාට වඩා වැදගත්. එහෙම කතා කරද්දි ම නිර්මාණය රසවිඳීමට අවශ්‍යතාවයක් තිබෙන බව පේනවා. නෙතට පෙනෙන දෙයට වඩා චිත‍්‍රයේ ඇතුළට ගොස් රස විඳීම තමා සුදුසු. එය යම් භාවමය කටයුත්තක්. එහෙත් මතුපිටින් බලන කෙනෙක් ඉන්නව නම් නමක් යොදමින් යම්කිසි මඟ පෙන්වීමක් කළත් ඒකෙ වැරැද්දක් වෙන්නෙ නෑ. මොකද චිත‍්‍රයක් නොබලා ඉන්නවට වඩා එහෙම හරි රස විඳින එක වැදගත්. ඔබේ නිර්මාණ සඳහා ඉදිරිපත් කරන ආගමික සංකල්පය, ඔබ යෝජනා කළ දෙයක් ද නොමැති නම් විචාරකයන් යෝජනා කළ දෙයක් ද? යම් කෙනෙක් මගේ නිර්මාණයක් රස විඳල ඒ වගේ අදහසක් ඉදිරිපත් කරනවා නම් මම එයට විරුද්ධ වෙන්නෙ නෑ. නරඹන්නා තම තම නැණ පමණින් තමයි නිර්මාණය හෝ එයින් මතුවන හැඟීම තේරුම් ගන්නෙ. චිත‍්‍රය පිළිබඳව වාචික මැදිහත්වීමක් අවශ්‍ය ද? එය පුද්ගලයා අනුව සහ අවස්ථානුªකූලව වෙනස් වෙනවා. සිතුවම නරඹමින් ඇසෙන් නොව මනසින් සිතුවමට කිමිදිය හැකි නම් එවැනි කෙනකුට වාචික ප‍්‍රකාශනයක් අවශ්‍ය නැහැ. නමුත් නොදන්නා කෙනකුට යම් වාචික මැදිහත්වීමක් කළ හැකියි. නමුත් සිතුවමේ සියලු යථාර්ථ හෝ ගුණාංගයන් වචනයෙන් විස්තර කරන්න බැහැ. ලාංකේය නිර්මාණ ශිල්පියකු ගේ නිර්මාණයන්හි දේශීය ආසියාතික ගුණාංග තිබිය යුතු ද? නැතිනම් නිර්මාණයන්ගෙන් මතුකළ යුත්තේ විශ්වීය ගුණාංග ද? එහෙම යමක් හිතේ තියාගෙන නිර්මාණ කරන්න බෑ. එය ස්වභාවිකව ගලා යා යුතු දෙයක්. ඒවා නිර්මාණයට බලෙන් ඔබ්බන්න බෑ. බලෙන් එබ්බුවොත් නීරසයි. අපිට බුද්ධාගම ලැබුණෙ ඉන්දියාවෙන්නෙ. නමුත් ඒක අප ගේ ආගම ලෙස පිළිගන්නවා. ඒ එයින් යම් ආධ්‍යාත්මික යථාර්ථයක් පිළිබිඹු කරන නිසා. අපේ ලෙඩක් සුව වෙනව නම් අපි බෙහෙත් ගන්නවා. ඒ බේත් කරල හැදුවෙ මොන රටේ ද කියල අපි හොයන්නෙ නෑනෙ. හැම දෙයකින් ම ආභාසය ලැබෙනවා කියන්නෙ අපි පොහොසත් වීමක්. ඒවාගේ ආභාසය ලබාගනිමින් ගොඩනඟන නිර්මාණ තුළින් කතා කරන්නේ මනසට. එයින් ආධ්‍යාත්මීය ගුණාංග මතු කරනවා. අර මම මුලින් කිව්ව වගේ ගංගා මුහුදට වැටුණම ගංගාවල නම් කියන්නෙ නෑ. ඒවා මුහුදට අයිති වෙලා. මුහුද මුළු විශ්වයට ම අයිති දෙයක්. ඔබ ආභාසයට ගත් යුරෝපීය හෝ දේශීය චිත‍්‍ර ශිල්පීන් සිටිනවාද? කුඩා කාලයේදී ලබාගත් අත්දැකීම් මගේ නිර්මාණවල දී කාන්දු වෙනවා. සෑම කෙනකු ගෙන් ම ආභාසයක් ලබාගත යුතු දේ පමණක් මා ලබා ගන්නවා. එහෙම අවශ්‍ය දේ පමණක් පෙරා උරා ගැනීම අපහසු දෙයක්. ඒ සඳහා ශිල්පීය පරිණත භාවයක් තිබිය යුතු යි. ඔබ ගෙන් පසුව බිහි වූ වියුක්ත චිත‍්‍ර ශිල්පීන්, වියුක්ත සිතුවම් සම්ප‍්‍රදාය පිළිබඳ ව මනා අවබෝධයකින් හෝ හැදෑරීමකින් යුක්තව නිර්මාණකරණයේ යෙදෙනව කියල ඔබ හිතනවද? යමක් වෙත එක එල්ලේ ම ළඟාවීමට අපහසුයි. වැරදි වැරදී හෝ ඒ වෙත එළඹීම වැදගත්. වැරදි වැඩිවෙන තරමට තමයි නිවැරදිව ගොඩනැඟෙන්නේ. හුඟක් දෙනෙක් කියනවා වියුක්ත සිතුවම් තේරෙන්නෙ නෑ කියලා. එහෙම කියන කෙනා වැදගත්, මොකුත්ම චිත‍්‍රයක් නොබලා ඉන්න කෙනෙකුට වඩා. එයාට උදව්වක් කළහ ම එයා ඒක තේරුම් ගනියි. තේරුම නෙවෙයි අහන්න ඕනෙ වින්දනයකුයි ලබාගන්න ඕනෙ. එය මනසින් රස විඳිමින් ආධ්‍යාත්මය වෙත කිමිදෙන්න ඕනෙ. ස්ථාපන කලාව, නිරූපණ කලාව වැනි චිත‍්‍රයේ හතරැස් තලය අතික‍්‍රමණය කළ නූතන චිත‍්‍ර ප‍්‍රවණතා පිළිබඳව ඔබේ අදහස කුමක්ද? ඒවා අපිට ආගන්තුක දේවල් නෙමෙයි. දඹුල්ලෙ විහාරෙ පිළිම බලන්න. ඒවා පසුබිමින් ඉදිරියට නෙරල ඇවිල්ල. පැතලි තලයෙන් පිටට ඇවිත්. නමුත් වැදගත් ම දේ ඒවා රස විඳීමේ දී පසුපස පැතලි තලයත් ඉදිරියට නෙරා පැමිණ දෙයත් එක් දෙයක් බවට පත් කරගෙන මනසින් වින්දනය කිරීමයි. මේවා කලාවේ වෙනත් අංශ. ඒත් ඒවා අපට ආගන්තුක නැහැ. අපට තියෙනවනෙ බොහොම පැරණි ශිෂ්ටාචාරයක්. ඒ තුළ මෙවැනි බොහෝ දේ දක්නට ලැබෙනවා. මාර්ක් රොත්කෝ, ජැක්සන් පොලොක්, කි‍්‍රස්ටෝ වැනි නිර්මාණ ශිල්පීන් ඔවුන් ගේ පරිණත නිර්මාණ ප‍්‍රකාශනය වෙත එළැඹීමෙන් පසු අත්හදා බැලීම් හෝ නව මාන පිළිබඳව සිතුවේ නැහැ. නමුත් ඔබ එක් ක‍්‍රමවේදයක් වෙනුවට නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් සහ වෙනස් මාන වෙත එළැඹෙනවා. ඒකෙ තියෙන්නෙ නිදහස. මම නිර්මාණ කරන්නෙ කිසිම කෙනකුට නෙමේ. නිර්මාණය තමන්ට ම නම් කරන්නෙ, එක තැනක නවතින්නෙ නැතුව කරගෙන යනවා. ජීවිතේ නතරවෙලා ඉන්න බැරි එකේ චිත‍්‍රය තුළ නතර වෙලා ඉන්න පුළුවන්ද? පසුගිය දශකයේ හේවුඩ් ආයතනයෙන් පිට වූ ශිල්පීන් ගේ බොහෝ විට නිර්මාණාත්මක ගුණාංග, ප‍්‍රතිභාව අභිබවා න්‍යාය මතු කරන බවක් පෙනුණා. ශිල්පියකුට වඩා මතු වුණේ කතා කාරයෙක්. කලාවක් නම් ඒක මනසට කතා කරන්න ඕනෙ. නිර්මාණයකින් ඇසට කතා කරනව නම් ඒකත් නිර්මාණයේ එක් අවස්ථාවක්. ඒක සාමාන්‍ය දෙයක්. කලා නිර්මාණයක් හරියට කරනව නම්, හරියට රස විඳිනවා නම් එය මනසත් සමඟින් කරන උතුම් ආධ්‍යාත්මික ගනුදෙනුවක් බවට පත් වෙනවා. එය වචන වලින් විස්තර කරන්න බැහැ. විහාර මහා දේවි උද්‍යානය අසල පාරෙ වැටේ එල්ලා විකිණීමට තිබෙන චිත‍්‍ර ගැන මොකද හිතන්නේ. එක් එක් මට්ටමේ අයගේ අදහසක්. සමහර අය විශාල ගොඩනැගිලි හදල ඒවා ඇතුළෙ බඩු විකුණනවා. සමහර අය පේමන්ට් එකේ බඩු විකුණනවා. තමන් අඳින දෙය තමන් ම අගය කරනව නම් එහෙම දේවල් වෙන්නෙ නැහැ. චිත‍්‍රයකට මිලක් නියම කිරීම පිළිබඳ ව ඔබේ අදහස. චිත‍්‍රයකට මිලක් නියම කරන්න බෑ. මම සමහර විට චිත‍්‍ර විකුණන්නත් අකැමැතියි. නිර්මාණයත් සමඟ ජීවත්වෙන්නයි කැමැති. චිත‍්‍ර ශිල්පියකු වීමට ශාස්ත‍්‍රාලීය හැදෑරීම් (විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය) අවශ්‍යම ද? ලෝකයේ බොහෝ ප‍්‍රතිභාපූර්ණ චිත‍්‍ර ශිල්පීන් ගැන බලපුවහ ම ඔවුන් විශ්වවිද්‍යාලවලට ගිහින් නැහැ. යමක නිතර නිතර යෙදෙන කෙනා එහි පසුබිම දන්නවා. ඒත් මං ඒකෙන් කියන්නෙ නෑ විශ්වවිද්‍යාලෙකට ගිහින් ඉගෙන ගන්න එක අනවශ්‍යයි කියල. දැන් බලන්න කම්මල්කාරයා එයා හැම දෙයක් ම අතපත ගාල ආයුධය සියුම් ව පණ පොවනවා, ඉතා සුන්දර නිමාවකුත් එක්ක. එයා ඒක කරද්දි හොඳට විඳිනවා. කොයිතරම් දක්ෂ ලෙස නිර්මාණය කරනවද? එයා විශ්ව විද්‍යාලෙ ගිහින් නෑනෙ. ඔබ වඩාත් කැමැති පින්තාරු කිරීමට ද, ද්‍රව්‍ය සමඟ ගනුදෙනු කිරීමට ද? විශේෂ දෙයක් නැහැ. වින්දනය ලබන්න කැමැති දේ කරනවා. මම කාටවත් නෙමේ නිර්මාණ කරන්නෙ. මට වතුර ගලාගෙන යනවා වගේ නිදහස්ව නිර්මාණ සිදුවෙනවා. ඒ වතුර පාරෙන් ගොවියෙක් ප‍්‍රයෝජනය ගනී. නැත්නම් ඒ වතුර පාරෙන් පුංචි කූඹියෙක් දිය බිංදුවක් බීල හරි ප‍්‍රයෝජනයක් ගනී නෙ. නූතන තරුණ සිත්තරුන් පිළිබඳව ඔබ දරන්නේ කුමන අදහසක් ද? කලාවේ භාෂාව හොඳින් හඳුනාගෙන ගොඩ නැගෙන්න කාලයක් යනවා. ඒ අයට එම කාලය ලබාදෙන්න ඕනෙ ගොඩනැඟෙන්න. නිර්මාණ ජීවිතයේ දී තවමත් ළඟා කර ගැනීමට නොහැකි වූ අරමුණක් තිබෙනවද? මට තාම හරියටම බලාපොරොත්තු වුණ දේ ඉෂ්ටකරගන්න බැරි වුණා වගේ හැඟීමක් ඇතිවෙනවා. නිර්මාණයක් නිමා කිරීමේදී ක්ෂණික වින්දනයක් ලබල තියෙනවා. ඒත් නැවත නැවත එම වින්දනය ලබාගැනීමේ කැමැත්තක් තිබෙනවා. ඒ නිසා සැමදාම සැමවිට ම නිර්මාණකරණයේ යෙදෙනවා. සංලාපය සත්සර ඉලංගසිංහ ඡායාරූපය සුදම් ගුණසිංහ silumina.lk/punkalasa/2008 12 07/
Posted on: Tue, 30 Jul 2013 07:22:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015