මගේ සංගීත දිවියේ පිටුපස - TopicsExpress



          

මගේ සංගීත දිවියේ පිටුපස මගේ තාත්තා යෝධ සෙවනැල්ලක්. මගේ හත්වැනි උපන්දිනයට ඔහු මට ගෙනැවිත් දුන්නෙ වයලීනයක්. මං මේ වයලීනය වාදනය කරද්දි මගේ තාත්තා රස වින්ඳේ දරු සෙනෙහස කියලා මං හිතනවා... මමත් අද තාත්තා කෙනෙක්. පුතෙකුට තාත්තා කෙනෙකුගේ සිිතේ ඇතිවෙන ආදරය අද මම හොඳින්ම අඳුනනවා. මං ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගන්න ගිය කාලේ අද වගේ බහුලව විදෙස් ගතවෙන්න වාතාවරණයක් අපේ රටේ තිබුණෙ නෑ. මං යද්දිත් ඔහු හිටියෙ ලෙඩ ගණනේ. තාත්තා මිය ගිය දවසෙ රෑ මං හීනයක් දැක්කා. ඒ අපේ ගෙදර ලොකු කලබලයක්. නමුත් මට ඒ ගැන ඒ වේලේම සොයා බලන්න විදියකුත් නැහැ. ලංකාවේ ඉන්න මගේ තාත්තාට ඒ කාලේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. මම ඒ හීනය දැක තිබුණේ මගේ තාත්තා අවසන් හුස්ම පොද පිටකරන වෙලාවේ බව දැනගත්තාම මට මහා වේදනාවක් ඇතිවුණා. පොඩි පුතා මා බලන්න ඒවිද කියමින් ඔහු මගේ පැමිණීම ඔහු මියයන්නට පෙර බලා පොරොත්තුව ඉඳ තිබෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව ඔහු මිය ගිහින්වත් ඉටු කරන්නට මට බැරි වුණා. අද වගේ නෙවෙයි ඒ කාලෙ රටකින් රටකට යන්න හරි අමාරුයි. මේ නිසා මගේ අධ්‍යාපනය බිඳ වැටෙයි කියන බයට කවුරුවත් මට තාත්තාගේ මරණය ගැන දැන්වූවේ නෑ. මේ නිසා තාත්තාගේ අවසන් මොහොත නොදැක ඉන්න මට සිද්ධ වුණා. ඒ වගේම දහස්වාරයක් මම තාත්තාගේ ආදරය ගැන හදවතින්ම ඇඬුවා. අපි නිතර මව් ගුණ ගී ඇසුවාට පිය ගුණ ගීවල අඩුවක් තියෙනවා. මේ වගේ පසුබිමක තමයි මට සෙවනැලි මිය යන හැන්දෑවේ ගීතය හමුවෙන්නේ.... මෛත‍්‍රි පනාගොඩ මහත්තයගෙන්. ගීතය දුටු ගමන්ම මගේ අතීතය අවදිවෙනවා. රෝහණ වීරසිංහයන් මේ ගීතයට ලබාදුන් තනුවට සාධාරණය ඉටුවෙන්නෙ මගේ අධ්‍යාත්මය තුළින්මයි. මම මේ ඉන්නේ මගේ තාත්තා හිටපු තැන කියලා හිතාගෙනයි මේ ගීතය ගැයුවේ. පණ්ඩිත් අමරදේවයන් හිනැහෙයි. කලාතුරකින් මුව පුරා විසිරෙන සිනහවට පිටින් ඔහුගේ දෙනෙත්් තෙත් කළ කඳුළු බිඳට තිත තබමින් අපි සොඳුරු වූ මිනිසා වෙත හැරෙමු. master-amaradeva.blogspot/2014/08/blog-post.html
Posted on: Thu, 14 Aug 2014 02:53:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015