නවක වදයයේ සැඟවුණු (සැඟවූ) - TopicsExpress



          

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව මා අද ලියන්නට යන්නේ ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් පිළිබඳව ය. සැබැවින්ම කිවහොත් මෙය කාලයක් තිස්සේ මගේ සිත තුල පැවති මතවාදී අරගලයකි. එය විසඳාගැනීමට මට බොහෝ කාලයක් ගත විය. මා මේ කියන්නට යන අදහස් කෙනෙකුට දරාගැනීමට අපහසු තරමට ඍජු විය හැක. නමුත් එය සඟවාගෙන සිටීමට වඩා කාගේ හෝ දැනගැනීම පිණිස ලියා තැබීම වටනේ යැයි මම සලකමි. නවක වදය යනු කුමක්ද? යන පැනයෙන් අපි සංවාදය අරඹමු. නවක වදය යනු අධ්‍යාපනික ආයතන වලට පැමිණෙන නවක සිසුන් අරභයා කෙරෙන කායික, මානසික සහ අධ්‍යාත්මික අපයෝජනයකි. නවක වදය යන්නෙහි එකම නිර්වචනය එයයි. සමාජයේ වෙනත් සංවිධාන වලට පිවිසෙන නවකයන් හට කෙරෙන අතවරයන් නවක වදය ලෙස හඳුන්වන්නේ නැත. ශ්‍රී ලංකාව යන සන්දර්භය තුල බැලූ කල නවක වදය යන වදන සමඟම බැඳී ඇති තවත් වචනයකි, සරසවිය. සැබැවින්ම සරසවියෙන් පරිබාහිරව නවක වදයක් ගැන කතා කිරීම ද අපහසු කරුණකි. එබැවින් මගේ මතවාදය සමඟ සරසවිය ද තදින් බද්ධ වී පැවතිය හැක. නැවතත් අපි අපේ තේමාව දෙසට යොමු වෙමු. ඇතැම්හු නවක වදයට අලංකාර අර්ථකථන දෙන්නට තැත් කරති. වදය යන වදනින් පිළිබිඹු වන අදහස හරිහැටි ග්‍රහණය කර නොගන්නා ඔවුනට අනුව මෙය නවක හා පැරණි ශිෂ්‍යයන් අතර සුහදතාවය වර්ධනය කරගැනීමට කෙරෙන හඳුන්වාදීමේ වැඩසටහනකි. (Orientation Program). මේ හඳුනාගැනීමේ වදය හරියට බැටළු හම පොරවාගත් වෘකයෙකු වැනි ය. එය පටන්ගන්නේ සුහද හමුවකිනි. භීෂණය ක්‍රියාත්මක වන්නේ මැදදී ය. භීෂණය යන වචනය ඇතැම් විට කෙනෙකුට ආගන්තුක විය හැක. නමුත් තමාගේ කැමැත්තට පරිබාහිරව කෙරෙන කායික, මානසික අපයෝජනය ද ගැනෙනුයේ භීෂණයක් ලෙස ය. මීට කැමැත්තෙන් මුහුණදෙන අයෙකු ද අතරින්පතර හමුවේ. ඔවුන්ට ඇත්තේ මනෝ විද්‍යාඥයන් අර්ථ දක්වන පරිදි ස්වයං ඝාතක මනෝභාවයකි. එය සමාන කළ හැක්කේ කුඩා කලදී මිරිස් ගෝනියක බැස තම කයට වද දුන් වේලුවිල්ලේ ප්‍රභාකරන්ගේ මනෝභාවයටයි. නමුත් හඳුන්වාදීමට කුමටද භීෂණයක්? කෝ ඔබ එක වසරේ සිට දහ තුන වසර දක්වා පාසල් ගොස් ප්‍රගුණ කරගත් සමාජ ව්භවතාවන්? ඔබට පාසලේදී කියා දුන්නාද තවත් කෙනෙකු දැන හඳුනාගැනීම පිණිස ඔහු ඉදිරියේ දණ නමා, හාවුන් පැන, ජල තටාක වල බැස ඊටත් එහා ගොස් තවත් කුණුහරුප කිරීමේ අවශ්‍යතාවක්? භීෂණය ගාවා නොගෙන විශ්ව විද්‍යාල තුල එකෙනෙකා හඳුනාගත නොහැක්කේ මන්ද යන පැනයට පිළිගත් හැකි, සාධාරණ පිළිතුරක්, ඔය රැගින් ගැන මොරදෙමින් කෑ ගසන එකදු පුද්ගලයෙකුගෙන් හෝ මම මෙතෙකුදු අසා නැත්තෙමි. තවත් සමහරෙක් කියන ආකාරයට මෙය අධ්‍යාපන වටපිටාව තුල බොහෝ දෙනා දැන හඳුනාගැනීම පිණිස භාවිතා කළහැකි උපකරණයකි. මෙය විහිලුවකි. මානව විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට යම් නිශ්චිත කාලයක් තිල ඇතිකරගත හැකි සියලුම සමීප සමබඳතා ගණන උපරිම වශයෙන් 70- 80 අතරමැද අගයකි. එසේ නම් විශ්ව විද්‍යාලයේ සිටින දහස් ගණනක් වූ සිසුන් හැම කෙනාම ආශ්‍රය කිරීමට යාම කිසිදාක සිදුකළ නොහැකි කර්තව්‍යයකි. එම කරුණ අතහරිමු, ඒ නැතත් මිතුරු මිතුරියන් ඇතිකරගැනීමට කුමටද නවක වදයක්? තවත් කෙනෙකු අපහසුතාවයට පත්කර, ඔහුගේ චරිතය ඝාතනය කර, ඝාතක වින්දනයක් ලැබීම හරහා ඔබට කෙනෙකුගේ මිත්‍රත්වය දිනාගත හැකිද? ඔහුගේ/ඇයගේ ගෞරවය දිනාගත හැකිද? එපමණක් ද නොවේ. ඔවුන් පවසන පරිදි පරිදි නවක වද සමය අවසානයේදී නවක සහ පැරණි සිසුන් විසිර යන්නේ ළඟම මිතුරන් ලෙසය. මේ තරම් අමූලික මුසාවක් තවත් කොහිද? වදය අවසානයේ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි නවකයා තුල ගෞරවයක් ඇති වී තිබිය හැක. නමුත් එය සැබෑ ගෞරවයක් නොව බිය මුසු ගෞරවයකි. ඔහුට එරෙහිව යාමේ නොහැකියාව සමඟ ජනිත වූ අසරණ භාවය මිශ්‍රිත ගෞරවයකි. නමුත් ඊට වඩා ප්‍රබල පෞරුෂයක් සහිත ශිෂ්‍යයෙකුගේ සිත තුල ඇති විය හැක්කේ වෙනස් හැඟීමකි. ඒ තමා අපයෝජනයට ලක් කළ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයකි. උක්ත කොටස් දෙකටම අයත් වන ශිෂ්‍යයන් සමාජයට පිවිසෙන්නේ ජීවිතයේ අමිහිරි මතකයක් නැතහොත් කලු පැල්ලමක් එක් කරගත් පුද්ගලයන් වශයෙනි. මේ කොටස් දෙකටම අයත් නොවන තවත් පිරිසක් ද සරසවි තුල වෙසෙති. ඔවුනට තමාට වූ හදිය ගැන කිසිදු අවබෝධයක් නැත. උජාරුවෙන් සිනා සී මාත් රැග් එක කෑවා කියන්නට ඔවුහු මැලි නොවෙති. (මම ද කලක් සිතා සිටියේ මෙසේ වන්නට ය). නමුත් ඔවුන්ට අමතක වූ එක් කරුණක් තිබේ. එනම් තමාට ද නොදැනුවත්ව තමන් තම ආත්මය පාවා දී ඇති බවයි. ඔබටම කියා පාවිච්චි කරන්නට ශරීරයක්, සිතන්නට සිතක් ලැබී තිබෙන්නේ ඒවා තවකෙකුට අවශ්‍ය පරිදි නටවන්නට නොවේ. තමාට අවශ්‍ය අවශ්‍ය පරිදි සිහියෙන්, බුද්ධියෙන් යුතුව පාවිච්චි කරන්නට ය. අනුන් කලිසම ගලවන්න කී විට ගලවන, අනුන්ගේ පදයට නැටවෙන රූකඩයක් වැනි පුද්ගලයෙකුත්, අනුන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට තම ශරීර කූඩුව කැප කරන ගණිකාවකත් අතර වෙනසක් තිබේ ද? එවන් එකේ ඔබ තවත් අයෙකුට දණ නමන්නේ කුමටද? අප හැමෝටම කෙලින් සිට ගැනීමට කකුල් දෙකක් හා කොන්දක් තිබේ. එසේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ඒවා නැති අයෙකු විලසට හැසිරෙන්නේ ඇයි? පෞද්ගලිකව, කෙනෙකු යමක් බලෙන් මගේ ඇඟේ ගසන්නට යයි නම් මට ඒ පුද්ගලයාත් කරුණත් යන දෙකම රුස්සන්නේ නැත. තර්ජනයෙන් යමක් කරවන්නට උත්සාහ කළහොත් කිසි සේත්ම එය කරන්නේ ද නැත. මා පමණක් නොව ඕනෑම අයෙකු එසේ ය. තමාට අභිමත පරිදි ජීවත් වීමට සෑම සියලු ජීවියෙකුටම අයිතියක් තිබේ. මානව අයිතීන් තුලින් ඒ බව තහවුරු කර තිබේ. එවන් පදනමක් තුල හඳුනාගැනීම උදෙසා තමා අපයෝජනය කිරීමට කෙනෙකු තවකෙකුට ඉඩ දෙන්නේ ඇයි? එසේ ඉඩ දේ නම් ඉන් ගම්‍ය වන්නේ ඔහුගේ පෞරුෂයේ දුර්වලතාවක් නොවේද? මෙහි විශ්මය දනවන කරුණ නම් සරසවි සිසුවා ඊට භාජනය වන්නේ තම චින්තනය සහ නිදහසේ සිතීමේ හැකියාව පමණක් නොව කාය ශක්තිය ද උපරිමයෙන් පවතින ඔහුගේ දිවියේ තෙවන දශකයේ මුල් භාගයේ වීමයි. මෙම නවක වද සම්ප්‍රදාය දිගින් දිගටම පැවත්ගෙන එන තමාගේ පාලනයෙන් එපිට පවතින්නක් ලෙස සිතීම ඊට හේතුවයි. සම්ප්‍රදායෙන් එන ව්‍යසනයට ගොදුරු වී තම දිවිය කාලකණ්ණි කර ගැනීමෙන් පසු ඔහුට ඇතිවන්නේ එහි වැරැද්ද වැරැද්ද ලෙස දැක ඉන් අත්මිදීම නොව, තමාට හිමි වූ ඉරණම තමා පසුපසින් එන සොයුරු කැළට ද අත්කර දීමයි. මෙම චක්‍රය කොතැනකින් හෝ බිඳ දමන තුරු සිදුවන්නේ අරුම පුදුම බෝංචි වැල මෙන් අවසානයක් නොමැතිව ගලා යාම ය. මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් මේ සංසිද්ධිය හරහා මුලු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම සිදුවන අතිමහත් ව්‍යසනකාරී බලපෑමයි. එය තේරුම් ගැනීම පිණිස එක් උදාහරණයක් සෑහේ. 1905දී ඇල්බට් අයින්ස්ටයින්, ලෝකය නව මඟකට යොමු කළ සාපේක්ෂතාවදය ඉදිරිපත් කළේ ඔහුගේ 26 වන වියේදී ය. 26 යනු ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුවෙකු තම අධ්‍යාපනය අවසන් කරන අවධියයි (පන්ති වර්ජන යනාදිය එක්කළ විට). නමුත් ඒ කාලය වනවිට ශ්‍රී ලාංකීය සිසුවෙකුට කළ හැක්කේ කුමක්ද? එවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීම තබා සාමාන්‍ය පර්යේෂණ පත්‍රිකාවක් වත් එළිදක්වාගත හැකිද? මේ ගැන මම ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ සිසුන්ගේ මනස විකෘති කරන විකෘති විශ්ව විද්‍යාල රටාවටයි. නවක වදයෙන් ඇරඹෙන මේ විකෘතිය සිසුවාගේ ඉතිරි ජීවිතයට ද සම්ප්‍රෂණය වන්නේ ඔහුගේ නිදහස් චින්තන රටාව විනාශ කරලමිනි. එහි අවසානය නම් නිදහසේ සිතීමට නොදන්නා, තවකෙකුගේ අතකොලුවක් වූ නිකමෙකු ගේ බිහිවීමයි. මෙහි තවත් ඛේදනීය පැතිකඩ නම් කිසිදාක සැබෑ නොවන පටු දේශපාලනික මතවාද වැපිරීම පිණිස ඇතැමුන් විශ්ව විද්‍යාල තිඹිරිගෙවල් කරගැනීමයි. දේශපාලනික මත දැරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. විශ්ව විද්‍යාල තුල එම අයිතිය උපරිමයෙන් ඇත. විශ්ව විද්‍යාල තුල දේශපාලනය ගැන කතා නොකළහොත් කතාකරන්නට වෙන තැනක් ද නැත. මන්ද, අති බහුතරක් වූ දේශීය මෙන්ම විදේශීය දේශපාලකයන් බිහි වී ඇත්තේ විශ්ව විද්‍යාල තුලින් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ශිෂ්‍යයාට තම බුද්ධියෙන් එය තෝරාගැනීමට ඉඩ නොතබා බලෙන් එය කැවීමට තැත් කිරීමයි. එය මේ නවක වද සංස්කෘතියේ තවත් කුහක අංශයකි. ලිපිය අවසන් කරන්නට පෙර නවක වදයේ නීතිමය පසුබිම ගැනත් සඳහනක් කරන්නට මගේ සිත් විය. නවක වදය දැනට පවතින්නේ ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වලත් පමණි. වෙනත් රටවල් වල එය පැවතුනත් ඒ ඉතාම අල්ප වශයෙනි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද එය නීතියෙන් තහනම් ය. 2001 වසරේදී නවක වදයට එරෙහිව නඩු තීන්දුවක් දෙමින් ඉන්දියනු ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ එය අර්ථදැක්වීය. Any disorderly conduct whether by words spoken or written or by an act which the effect of teasing, treating or handling with rudeness any other student, Indulging in rowdy or indisciplined activities which causes or Is likely to cause annoyance, hardship or psychological harm or to raise fear or apprehension thereof in a fresher or a junior student or asking the students to do any act or perform something which such student will not do in the ordinary course and which has the effect of causing or generating a sense of shame or embarrassment so as to adversely affect the physique or psyche of a fresher or a junior student. නවක වදය යනු මානව හිමිකම් උල්ලංඝනයකි. මේ හේතු කොටගෙන දැඩි මානසික පීඩනයට ලක්වන සිසුන් ගණන අපමණය. කලාතුරකින් මරණ මෙන්ම සියදිවි නසාගැනීම් ද වාර්තා වේ. ඒ සියල්ල හඳුනාගැනීමේ නාමයෙන් ය. හඳුනාගැනීම පසෙක තබා ගෙදර සිටියා නම් හොඳයි යැයි කෙනෙකුට සිතෙන්නේ මීට මුහුණදීමේදී ය. එහෙත් මීට විරුද්ධව කතා කිරීමට කෙනෙකු සූදානම් වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මන්දැයි තේරුම් ගැනීම අපහසු ය. නීති විරෝධී ක්‍රියාවකට එරෙහි වීම වරදක් ලෙස දකින්නෙකු අපරාධකරුවෙකු නොවන්නේ ද? ඔබ ඊට එරෙහිව නිහඬව සිටින වාරයක් වාරයක් පාසා ඔබ බිලිගන්නේ මේ රටේ ඈත් එපිට දුප්පත් ගම්මානයක ඉගනගෙන අමාරුවෙන් සරසවියට පිවිසෙන අහිංසක දරුවෙකුගේ ජීවිතයයි. මන්ද නගරයේ හැදී වැඩී, නගරයේ ජීවත් වන ශිෂ්‍යයෙකු මීට ගොදුරු වුවත්, අනුන් පාගාගෙන හෝ ගොඩ යාමට ඔවුන් දන්නා බැවිනි.එසේ වුවත් එවැනි කෙනෙකු තුල වුවත් ඇතිවන මානසික බිඳවැටීම අන් කිසිදි ආකාරකින් නැවත ගොඩනැගිය නොහැක. ඔබ බහුතරයේ මතයට විරුද්ධ වුවහොත් ඔබට විවිධ චෝදනා එල්ල විය හැක. ඇතැමුන් ඔබෙ කොන් කරනවා යැයි තර්ජනය ද කළ හැක. නමුත් වැරැද්ද කෙසේ සිදු වුවත් වැරැද්දම ය. එය කිසිදු ජගතෙකුට සාධාරණීකරණය කළ නොහැක. පිටතින් ඇත්තේ ලස්සන ටොෆි කොළය වුවත් ඇතුලේ ඇත්තේ ගල් කැටයක් නම් එහි කුමන රහක් ද? වැරැද්ද දුටු තැන ඊට එරෙහි වීමට උපදෙස් දී ඇත. තමා වටා සිටිනා සියලු දෙනාම කරන්නේ වැරැද්ද වුවත් ඍජුව සිටිනා ලෙස පවසමි. මන්ද නිවැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුටත් කිසිදිනෙක වරදින්නේ නැත. ඹබ එකග නම් පමනක් මාව අවන්ක මිතුරු මිතුරියන් ඇතිකරගැනීමට එකතු කරගන්න?
Posted on: Sun, 30 Nov 2014 08:21:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015