මාවිල්ආරු සොරොව්ව කොටි - TopicsExpress



          

මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් වහන වෙලාවේ ඊට බියේ පළානොගිය ගොවි ජනතාවට දේශීය කෘෂිකර්මය රැකගැනීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්තිය හා ධෛර්ය තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කන්තලේ ගොවි ජන ව්‍යාපාරයට වසර 60 ක් සපිරීම නිමිත්තනේ ගඟතලාව ගොවි සංවිධානය විසින් පසුගියදා කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේදී සංවිධානය කෙරුණු ගොවි උපහාර උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මාවිල්ආරු සොරොව්ව ත්‍රස්තවාදීන් වහනකොට මේ පොළව අතහැර නොගිය තමුන්නාන්සේලා ඉදිරිපිට කොටි ත්‍රස්තවාදී අවතාර මේ පොළොවේ හොල්මන් කරනකොට පලානොගිය තමුන්නාන්සේලාට අද අභියෝග තියෙනවා. ඒ අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න රජයට ප්‍රතිපත්තිමය තීරණ ගන්න බලකරලා රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න ප්‍රතිව්‍යුහගත කරන්න. ඒ සඳහා යෝජනා දන්නේ තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා දන්නවා කාලගුණ දෙපාර්තමේන්තුවට වඩා වහින්නේ කවදද? පායන්නේ කවදද? කියලා. සමහර වාරිමාර්ග ඉංජිනේරුවන්ට වඩා කුඹුරු සඳහා ජල සැපයුම කොහොමද කළ යුත්තේ කියලා දන්නවා. ඒ ජීවන අත්දැකීම් ලබපු උදවිය තමුන්නාන්සේලා. මීට අවුරුදු 60 කට කලින් මේ භූමියට පා තබපු ඒ යෝධ මිනිස්සු සමරන්න බය නැතිව, පස්සට අඩිය තියන්නේ නැතිව ඒ මහා අභියෝග දරාගෙන මේ බිමට ආපු වීරෝධාර ගොවි ජනතාව සැමරීම ඉතා වැදගත්. ඔවුන් මේ භූමියට ඇවිල්ලා පස සාරවත් කරලා මුළුමහත් ජාතියටම ආහාර නිෂ්පාදනය කරදෙන්න කරපු ඒ මහා කැපවීම සමරන්න පවත්වනු ලබන මෙම උපහාර උළෙල මං ඉතාමත් අගය කොට සලකනවා. එදා වසර 60 කට පෙර හිටපු පරම්පරාව අභියෝග හමුවේ පරාජිත වුණා නම් ලෙඩ දුක් , මරණ, දුර්භීක්ෂ වැනි අභියෝග එනකොට ඒවා ඉදිරිපිට දණගැසුවා නම් අද මේ ගොවි ජනපද ව්‍යාපාරයේ අවුරුදු 60 ක ඉතිහාසය ගැන කතාකරන්න ලැබෙන්නේ නැහැ. ජයන්ත විජේසේකර මන්ත්‍රීතුමාගේ මූලිකත්වය අරගෙන මේ ගොවි ජනපද සංවිධාන සියල්ල එකට එකතු කරලා එහි ඵෙතිහාසික දැවැන්ත කාර්යභාරය සමරන්න කටයුතු කිරීම ඉතාම වැදගත් අවස්ථාවක් සේ සලකනවා. ලෝකයේ ඇතැම් රටවල් ජනාවාසකරණය වෙන්නේ ගොවි ජනපද ව්‍යාපාර ස්වරූපයෙන් නොවේ. ඒ වෙනුවට බටහිර දිශාවට තල්ලුවන නාගරීකරණයක් තමයි බොහෝ රටවල සිදුවන්නේ. නමුත් ඊට වෙනස්ව අප වැව හදාගත්තු ජාතිය නිසා ඵෙතිහාසික වැව නිෂ්පාදනය කරපු එකම පොළොව මේ පොළොව නිසා ඒ මහා දියුණු වාරි තාක්ෂණය අපේ මුතුන් මිත්තෝ මේ භූමියේ පැළ කරපු නිසා අපට අවශ්‍ය වුණේ නැහැ කුඩා කුඩා නගර වල ජීවත්වෙන්න. කෘෂිකාර්මික ජනාවාසකරණයක් මේ පොළොවේ ආරම්භ කරන්න අපට පුළුවන් වුණා. අතීතයේ හිටපු රජවරු විද්වතුන් මේ වාරි තාක්ෂණය නිර්මාණය කරලා වැව කේන්ද්‍රෙකාට ගත්තා වූ කෘෂිකාර්මාන්තයක් බිහි කරලා වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන වැව සමඟ බැඳුණු සංස්කෘතියක් සහිතව වැවත් වගාවත් ජීවිතය සමඟ බැඳුණු මහ සංස්කෘතියක් ගොඩනැගුවේ නැත්නම් මේ පොළොවට මීට වඩා වැඩි අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අනිත් හැම තැන්වලම ජනාවාසකරණය වුණේ ගඟ දිගේ වතුර ගලාගෙන ගිය පාර තමයි ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරවල පාර වුණේ. අහසින් වැටෙන වතුර ටික එක තැනකට එකතු කරලා ඒ වතුර ටික තමන්ට අභිමතාර්ථ ආකාරයට ගලාගෙන යන්න සලස්වලා දුඹුරු බිම් සරුසාර කරන්න ඒ වැව් ජලය පරිවර්තනය කරපු දැනුම මේ පොළොවේ නිර්මාණය වුණු හින්දා අපේ ජනාවාසකරණය වුණේ ගඟ දිගේ නොවෙයි. වැව සමඟ මහ කුඹුරු යායාක් හා මහා ජනාවාසකරණයක් බිහි වුණා. එය තමයි අපේ ජනාවාසවල කතාව. මේ තමයි අපේ කෘෂිකාර්මික පදනම. ඩී. එස්. සේනානායක මහත්මයලගේ කාලේදී නිදහසින් පසුව ගතවුණු දශක දෙක ඇතුළත ගොවි ජනපද ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීම නිසා තමයි මේ රට ආහාර නිෂ්පාදනය අතින් ස්වයං පෝෂිත මට්ටමක අතීතයේ පැවතුණේ. අද සහල්වලින් ස්වයංපෝෂිත මට්ටමට නැවත මේ රට පත්කරලා තියෙනවා. නමුත් අද ඇඟළුම් කර්මාන්තය ගත්තතොත් ශ්‍රමයයි තව වෙන මොනවාහරි දෙයක් ඇරෙන්න නූල, රෙද්ද, ඉඳිකට්ට , මහන මැෂිමේ සිට බොහෝ අමුදුව්‍ය සියල්ලම ගේන්නේ විදේශ රටවලින්. මේ රටේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කළාට made in sri lanka කියලා ගැහුවට ඒ වටිනාකම ඇතුළේ තියෙන 80% ක් 90% ක්ම පිටරටට ගලාගෙන යනවා. අද කෘෂි කර්මාන්තයත් ඒ වගේ වෙලා. බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් අතට ගිහිල්ලා. ඔවුන් තීරණය කරන බීජ පැළකරන වාතාවරණයක් ඇතිවෙලා. පහුගිය 17 වසරක කාලය තුළ අපේ රටේ බීජ වැපිරීම කඩාගෙන වැටුනා. එය නැවත නඟා සිටවන්න අවශ්‍ය පියවර ගැනුනේ නැහැ. මේ නිසා බීජ ඒකාධිකාරිය බහු ජාතික සමාගම් අතට ගිහිල්ලා තියෙනවා. අපේ ගොවියන්ට වගා කරන්න වුණේ ඒ බහුජාතික සමාගම් තීරණය කරන බීජ වර්ග. කෘෂිකර්මාන්තය ගොවිතැන සමඟ බැඳුණු සාමූහික ක්‍රියාදාමය වෙනුවට අද කුඹුරුවලට භූතයෝ යක්ෂයෝ, ප්‍රේතයෝ කියලා විවිධ නම් වලින් යන්ත්‍ර ඇවිල්ලා. ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ 90% ක්ම පමණ විදේශ රටවලින් ගෙන්වන ලද යන්ත්‍රෝපකරණ. උදැල්ලේ මිට විතරයි ශ්‍රී ලංකාවේ. තලය පිටරටින් ගෙන්වනවා. සමහර ප්‍රදේශවල ප්‍රමාණය ඉක්මවලා බෝගවලට රසායකින පොහොර යොදනවා. වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදිහට පොහොර දානවා. ඒ සල්ලි ටිකත් රටෙන් එළියට යනවා. ඒ අනුව වී නිෂ්පාදනයෙන් 80% ක්90% ක් පමණ ප්‍රමාණයේ විදේශ නිෂ්පාදන අමුද්‍රව්‍යවල එකතුවක් තියෙන්නේ. අඩු ගාණේ අපේ ගොවිතැන කිව්වාට ඒ ගොවිතැන ඇතුළේ විශාල පිරිවැයක් තියෙන්නේ මේ රටෙන් එළියට යන සල්ලි. රුපියල අවප්‍රමානය වෙනවා කියලා කියනවා. රුපියල දුර්වල වෙනකොට උද්ධමනය ඉහළ යනවා කියලා කියනවා. ජීවන බර වැඩිවෙනවා කියලා කියනවා. ජීවන බර වැඩිවෙනකොට ජීවන පැවැත්ම අභියෝගයකට ලක්වෙන්න පටන් ගන්නවා. මේ රුපියල අවප්‍රමාණය වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපේ රටෙන් එළියට යන මුදල් ප්‍රමාණය දවසින් දවස වැඩි වෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නොවෙයි. පිට රටින් ගේන සල්ලි ප්‍රමාණයට වඩා වැඩි මේ රටෙන් එළියට යනව සල්ලි ප්‍රමාණය. අපේ අම්මලා , සහෝදරියෝ මැද පෙරදිග වහල් සේවයේ යෙදිලා අපේ සහෝදරයෝ විදේශ රටවල කැපවී සේවය කරලා ගේන විදේශ විනිමය ප්‍රමාණයට වඩා සීනී මේ රටට ගෙනඑන්න මහා විශාල මුදල් ප්‍රමාණයක් මේ රටෙන් එළියට යවනවා. කිරිපිටවලට මේ රටෙන් විශාල මුදල් ප්‍රමාණයක් රටින් එළියට යනවා. අද කිරිපිට පරිභෝජනය කරන රටවල් අතරින් අප 4 වන තැන. ලෝකයේ බුද්ධිමත් ජාතියක් ජීවත්වන කිසිම රටක කිරිපිටි පරිභෝජනයක් නැහැ. ඒ වෙනුවට දියර කිරි පරිභෝජනය තිබෙන්නේ. කිරිපිට පරිභෝජනය කරන මෝඩ රටවල් ලැයිස්තුවේ අපි ඉන්නේ 4 වන ස්ථානයේ. අපේ කිරි එළදෙන කුඹුරු දිහා බලාගෙන හුල්ලන්නේ තමන්නේ තන පුඩු වලින් එන කිරි ටික බොන්න මිනිහෙක් නැතුව. මේ විදිහට අපේ දේශීය කෘෂිකර්මාන්තය අපට උරුම ශක්තිය නෙවෙයි අද උපයෝගී කරගන්නේ. මීට වඩා මේ රටට ගැළපෙන කෘෂිකර්මාන්තයක් සොයාගන්න ඕනේ. රුපියල් 350 ට පොහොර ලැබෙනවා කියලා සීමාවක් නැතිව පොහොර යොදලා රසායනික ද්‍රව්‍යවලින් විනාශ වුණු පොළවක් බිහිකර ගත්තතොත් පොළොවේ සාරවත් බව නැතිවෙනවා. ඒ වස විෂ රසායකනික පොහොර වලින් පොළොවේ සාරවත් භාවය දවසින් දවස විනාශ කරනවා. ගොවි ජනතාවගේ ජීවන අභියෝග හමුවේ වැඩි වැඩියෙන් පොහොර දාලා අස්වැන්න වැඩි කරගන්න වැඩි ආදායමක් ගන්න මේ විදිහට කටයුතු කරනවා. එදා අවුරුදු 60 කට කලින් මේ පොළොවට ආව ගොවි ජනතාවට වඩා වෙනත් අභියෝගයක් තියෙනවා. ඒ තමයි කොහොමද අද රටට ගැළපෙන කෘෂිකාර්මික රටාවක් මේ රටට අවශ්‍ය කරන බොහෝ දෙවල් නිෂ්පාදනය කරන රටාවක් විශේෂයෙන්ම අපේ ගොවියන්ට ඕන කරන දේශීය ඉතා වටිනා බීජ නිෂ්පාදනය යළි හිසඔසවලා ගොවි ජනතාවට ඉතා සහනදායී ක්‍රමයකට ලබාදෙන වැඩපිළිවෙලකට මේ රට හරවගන්න අද අවශ්‍ය වෙනවා. එහෙම නොවුණොත් අපි පරාද වෙනවා. පොහොර නිපදවන බහු ජාතික සමාගම් පොහොසත් වෙනවා. රුපියල් 350 ට ඔබලාට පොහොර දුන්නාට ඒ පොහොර වල වටිනාකමේ ඉතුරු මුදල තමුන්නාන්සේලාගෙන් ලැබෙන බදු ආදායමෙන් රජය ඒ බදු සමාගම් වලට දෙනවා. වක්‍ර ලෙස අපි ඒ මුදල් ගෙවනවා. දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන රටාව ඉදිරියට ගෙනියන්නේ කෙසේද? කියන අභියෝගය අපිට තියෙනවා. අපේ බීජ නිෂ්පාදනයට අවතීර්ණ වෙන්නේ කොහොමද? පොළොවේ ඒකාධිකාරය කඩන්නේ කොහොමද? කියන අභියෝග තියෙනවා. දේශීය පොහොර , ගොවි උපකරණ මෙවලම් ආදී සියල්ල කොහොමද? මේ පොළොවේ නිපදවන්නේ කියන අභියෝගය තියෙනවා. කෘෂිකර්මාන්තයෙන් රටක් පෝෂණය වෙන්නේ මේ පොළොවේ අනෙකුත් දේ නිපදවනවා නම් වගා කරන ගොවියා පමණක් නොවෙයි ධනය උපයන්නේ කෘෂිකර්මාන්තය හා බැඳුණු කාර්මික ක්ෂේත්‍ර දියුණු වෙනවා. 1977 න් පසු ආරම්භ වුණු ආර්ථික රටාව ඇතුළේ ඒ ප්‍රවණතාවයන් බිඳ වැටිලා තියෙනවා. ක්‍රමානුකූලව අද රජය සමහර බෝග පිටරටින් ගේන එක නවත්වන්න අවුරුදු 4ක 5ක සැලසුම් ඇතිව සමහර බෝග වගාවන් පටන් අරගෙන තියෙනවා. මේ රටට අපි කෘෂිකාර්මික රටක් කිව්වට කුරහන් ටිකත් ඉන්දියාවෙන් එනවා. නොඑන කෘෂිබෝග නැති තරම්. එදා අවුරුදු 60 කට කලින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මේ පොළොවේ මිශ්‍රව ජීවත්වුණේ නැත්නම් දෙමළ ඊලාම් මූලධර්මවාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී නිජ බිම් සංකල්පය විශාල වශයෙන් පිළිගැනීමට ලක්වෙනවා. නමුත් වසර 60 කට පෙර ජන වර්ග එකට ජීවත් වුණු නිසා ඒ ඊනියා ජාතිවාදී, බෙඳුම්වාදී නිජ භූමි සටන්වලට හරි යාකාරව සාර්ථක වන්නට හැකිවුණේ නැහැ. ඒ නිසා මේ ගොවි ජනපද ව්‍යාපාරය කෘෂිකාර්මාන්තය වෙනුවෙන් බිහිවෙච්ච ව්‍යාපාරයක් හැටියට නොවෙයි දකින්නේ. මේ පොළොව ආරක්ෂා කරන්නට ආපු මුර දේවතාවුන්ගේ ගොවි ජනපද ව්‍යාපාරයක් හැටියටයි අපට පෙනෙන්නේ. මහ සංඝරත්නය වෙහෙර විහාරස්ථාන හදාගෙන සෙසු ආගමික සිද්ධස්ථාන මේ පොළොවේ හැදුණේ මුතුන් මිත්තෝ මේ පොළොවට ආපු නිසා. ඒ නිසා ජනාවාස ක්‍රම වේගවත් වුණා. ජනකොටස් තුනම මිශ්‍රව ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා දැවැන්ත දේශපාලන සාධකයක් වුණා මේ ගොවිජනපද ව්‍යාපාරය. අවාසනාව කියන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් පසු කාලීන නායකයන්ගේ ආණ්ඩු කාලවලදී තමයි මේ භූමිය ටික ටික ත්‍රස්තවාදීන් ගිලගන්නේ. වෙහෙර විහාරස්ථාන ආශ්‍රිත ප්‍රදේශවලට ගහනකොට සමහර නායකයෝ ගමේ පන්සලේ නායක හාමුදරුවන්ට කොළඹට වඩින්න හෙලිකොප්ටර් යවන්න හැදුවා. කොටි ප්‍රහාර එල්ල කරනවා. මිනිස්සුන්ට ගම් අතහරලා යන්න කියලා. හාමුදුරුවන් ඉන්න නිසා මිනිස්සු ගම් දාලා යන්නේ නැතිව ඉන්නවා. එහෙම හැමුදුරුවන්ව හෙලිකොප්ටරයෙන් කොළඹට වඩම්මන්න කටයුතු කරලා ගම්වලින් හාමුදුරුවන්ව ඉවත් කරන තත්තවයට කටයුතු කරපු පාලකයොත් මේ රටේ හිටියා. ගමේ හාමුදුරුවන් නොහිටියොත් ගමේ ජනතාවට තිබුණු ශක්තිය නැතිව ගම් දාලා යනවා. ඒ ආකාරයට ත්‍රස්තවාදී බලයට මුහුණදෙන්න පුළුවන් ඒ බලයට ප්‍රතිබලයක් ගොඩනගන්න පන්සලේ හාමුදුරවන්ට පුළුවන් වුණා. රටේ ඒකීයභාවය රකින්න නැගෙනහිර පොළොව රකින්න ඊනියා නිජ භූමි සංකල්පය මකන්න පොළොවට ආපු දැවැන්තයෝ පිරිසක් හිටියා. ගොවි ජනතාව සැළකිය යුතුයි. මේ නැගෙනහිර පොළොව ඉතා විශේෂයි. සාරවත් මේ නැගෙනහිර පොළොව, ත්‍රිකුණාමලය ලෝකයේ දෙවන ස්වභාවික වරාය, තිබෙන පුණ්‍ය භූමිය දෙවන ලෝක යුද්ධයේදී සුද්දා බින්න බැහැපු තැන යුධ නීති හදාගත්තු තැන උපාය මාර්ගික වශයෙන් ගත්ත ඉතා ම වැදගත් පිහිටීමක් සහිත භූමියක්. ලෝකයේ ඕනෑම අනාගත යුධ තත්තවයකදී නිසැක වශයෙන්ම ගැටෙන කඳවුරු දෙකක් එකක් කෙලහලපු භූමියක් තමයි මේ ත්‍රිකුණාමල භූමිය. ඒ භූමිය තමයි දෙමළ ඊළාම් ජාතිවාදීන් අගනුවර කරගන්න බැලුවේ. එදා සටන් විරාම ගිසුම් වෙලාවේ වික්‍රමසිංහ මහත්තයාගේ ඊනියා සාමය ලැබුණු වෙලාවේ කොටි සංව්ධානය ජාතික කොඩිය ඔසවන්න ඉඩ දුන්නේ නැති පොළොවේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාරතුමා අධිකරණ ප්‍රරිශ්‍රය විවෘත කරනකොට කොටි කියන විදිහට උත්සව පවත්වන් සිදුවුණා. එදා දැවැන්ත පළාත් සභා ගොඩනැගිල්ලක් හැදුවේ නැගෙනහිර පළාත් සභාව පවත්වාගෙන යන්න නොවෙයි. ඔවුන් ස්වයං පාලන ඒකකය හැදුවොත් ස්වයං අංශු අධිකාරිය හැදුවෙත් එහි ප්‍රධාන පාර්ලිමේන්තුව එම ඒකකයේ පවත්වාගෙන යාමට තමයි. විදේශ ණය ආධාර දීලා වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ කඩිනමින් එම ගොඩනැගිලි ඉදිකරන්න පටන් ගත්තේ. ඒ හීනය සඵල වුණා නම් අද මේ පොළොවේ තමුන්නාන්සේලා නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩි ඡන්ද 100000 කින් බලයට පත්වුණේ නැත්නම් වික්‍රමසිංහ මහත්තයා දින්නා නම් කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරයේ 60 වන සංවත්සරය අද සමරන්න හැකි වෙන්නේ නැහැ. ඒ ත්‍රස්තවාදී බෙඳුම්වාදී කල්ලි තමුන්නාන්සේලාට ගහලා ,මරලා, එළවලා එදා මුතූර්වලින් මුස්ලිම් ජනතාව එළෙව්වා වගේ මේ මුල් ප්‍ර‍දේශවල ඉන්න මුස්ලිම් සහ සිංහල ජනතාව එළවලා වාර්ගික පවිත්‍රකරණයක් කරලා වාර්ගික සුද්දයක් කරලා මේ පොළොව තමුන්නාන්සේලාට අහිමි පොළොවක් බවට පෙරළලා ඉවරයි. 2005 ජනවරම ගොඩනගපු හන්දා ඒ ඉරණම වෙනස් වුණා. ඒත් ආයුධ නිහඬ වුණත් ඒ පිටුපස හිටපු බලවේග ඒ අරමුණු අතහැරලා නැහැ.නැවත උතුර හා නැගෙනහිර ජාතිවාදී බෙඳුම්වාදී උඟුලේ හිරකරන්න ඒ බලවේග බලනවා.නැවත මිනීමරු ත්‍රස්තවාදයකට අනාගතය විවෘත කරලා දෙන්න බලනවා. දෙමළ තරුණයින්ගේ බෙල්ලේ සයනයිඩ් කරල එල්ලන අනාගතය හදන්න හදනවා. 2008 තිබුණු කන්තලේ නෙවෙයි අද තියෙන්නේ. මේ රටේ නැවත ජාතිවාදී බෙඳුම්වාදී බලවේග හිස ඔසවන්න හදනවා නම් එය උපන් ගෙයිම පරාජයට පත්කිරීමේ බලය ජවය, ශක්තිය තියෙන්නේ කන්තලේ ජනතාව ඇතුළු නැගෙනහිර හා උතුරු ජනතාවට බව සඳහන් කළ යුතුයි. ඒ පිළිබඳ අවධියෙන් ඉන්න. එක වැරැද්දක් ඇති ඉතිහාසයේම ආපස්සට හැරෙන්න. වසර 60 ක අතීතයක් තියෙන තමුන්නාන්සේලාට මේ අභියෝග හොඳින් වැටහෙනවා ඇති. මේ අභියෝග ගොවිජනපද ව්‍යාපාර අවශ්‍ය රටේ කෘෂිකර්මාන්තය නියම මාර්ගයට යොමුකරන්න. රටේ නිෂ්පාදන පොළොවට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කිරීමේ යෝජනා රජයට ගේන්න. සත්ව නිෂ්පාදන පශුසම්පත් නිෂ්පාදන නැවත පණගන්වන ස්වභාවරධර්මය අපිට නැඟිටින්න සාධක ලබාදීලා තියෙනවා. සාරවත් පොළොව අවුරුද්දේ අවස්ථා දෙකකදී ලැබෙන වර්ෂාපතනය හා වසර 60 කට කලින් මුතුන් මිත්තන්ගේ ඇති කරගත් ජීවන රටාව. මේ හැම සාධකයක්ම අපිට තියෙනවා. අපිට දැන් අවශ්‍ය නිසි මාර්ගයක් හා සැලැස්මක් අද මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ දේශීය කෘෂිකර්මාන්තය නංවන පිම්ම අපි සැවොම එකතුවෙලා කටයුතු කරමු. එහෙම නැත්නම් රටේ සම්පත් එළියට යන එක නවත්වන්න බැහැ. ඒ ශක්තිය සමඟිය තමුන්නාන්සේලාට තියෙනවා. නගරයේ අධි සුඛෝපභෝගී ජනකොටස්වලට පවා රට වෙනුවෙන් දුක් විඳින තමුන්නාන්සේලාගේ දායකත්වය ඉතා ඉහළයි. මෙම ගොවි ජන උපහාර උත්සවය සංවිධානය කරන්න ඒ අතීත උරුමය රකින්න කැපවුණු ජයන්ත විජේසේකර මන්ත්‍රීතුමාට අපි විශේෂ ස්තුතිය පුදකරනවා ” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සංකල්පයක් මත 1953 දී කන්තලේ ගොවිජන ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එම ගොවිජන ව්‍යාපාරයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් කන්තලේ සියලු ගොවි ජනතාවට උපහාර පිදීම විමල් වීරවංශ අමාත්‍යතුමා අතින් මෙහිදී සිදුකෙරිණ. මෙම ගොවි උපහාර උළෙලට සමගාමීව එදින පෙරවරුවේ අලුත් සහල් මංගල්‍ය හා ගොවි පෙරහරක්ද පැවැත්විණ. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනකොටස්වලට අයත් ගොවි මහත්ම මහත්මීන්ට උපහාර පුදකිරීම මෙම ගොවි උපහාර උළෙලේ විශේෂත්වයකි.
Posted on: Fri, 27 Sep 2013 12:31:32 +0000

Trending Topics




© 2015