සිංහරාජ අඩවියේ සියලූ - TopicsExpress



          

සිංහරාජ අඩවියේ සියලූ වනාන්තර සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පවරන්න.................................... සිංහරාජ අඩවියේ බොහෝ වනාන්තර ප‍්‍රදේශ හා යෝජිත රක්ෂිත ප‍්‍රදේශ සීග‍්‍රයෙන් එළි පෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම ඇතුළු හානිකර ක‍්‍රියා රැසකට යොදා ගන්නා බව අප විසින් සිදු කළ අධ්‍යයන මගින් තහවුරු වී තිබේ. මේ තත්ත්වය පාලනය කිරීමට හා වනාන්තර ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි මොරපිටිය - රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය, තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය හා බෙරගල මූකලාන යෝජිත රක්ෂිතය යන වනාන්තර, ජාතික උරුම වන රක්ෂිතයට පැවරීමට කටයුතු කළ යුතු ය. එපමණක් නොව දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් පවතින සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර හෙක්ටයාර 2508 ක භූමිය ද ජාතික උරුම වන රක්ෂිතයට කඩිනමින් ඈදීම කළ යුතුව ඇත. එවිට සිංහරාජ අඩවිය වනාන්තර පද්ධතියක් ලෙස අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි වනු ඇත. ඉන් අනතුරුව සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා කිලෝමීටරයක සීමාව ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර මේ සංවේදී වනාන්තර පද්ධතියට මායිම් ප‍්‍රදේශවලින් සිදුවන බලපෑම පාලනය කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇත. කිලෝමීටරයක පේ‍්‍රරක කලාපය තුළ හෝටල් ඉදිකිරීම, ජල විදුලි බලාගාර ඉදි කිරීම, මැණික් ගැරීම ඇතුළු මානව ක‍්‍රියා පාලනයට පියවර ගත යුතුය. මේ කලාපය තුළ කාබනික තේ වගාව සඳහා පමණක් අවස්ථාව ලබාදිය යුතු අතර රසායනික පලිබෝධනාශක හා පොහොර භාවිතා කර සිදු කරන තේ වගාව ක‍්‍රමයෙන් නතර කිරීමට පියවර ගත යුතුව ඇත. මෙම ක‍්‍රියාමාර්ග ඉදිරි වසර දෙක තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ අමාත්‍යාංශය එක්ව සැලැසුම් කර ක‍්‍රියාත්මක නොකළහොත් අද සිදුවන සීග‍්‍රතාවයෙන් සිංහරාජ අඩවිය වටා හානිකර මානව ක‍්‍රියාකාරකම් අඛණ්ඩව සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයේ පැවැත්ම සීග‍්‍රයෙන් විනාශ වී යනු ඇත. මේ වන විට පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලෙවත්ත, ඉළුඹකන්ද, රඹුක, කජුගස්වත්ත, රජවත්ත - කෝපි කෑල්ල, මාණික්කවත්ත, හඳපාන්ඇල්ල, කඩමුදුන හා සූරියකන්ද යන ප‍්‍රදේශවල මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සීග‍්‍රයෙන් සිදු කෙරේ. වනාන්තරය තුළ යටි වගාව ඉවත් කර තේ පැල සිටුවීමෙන් අනතුරුව විශාල ගස් කපා ඉවත් කරමින් වනාන්තරය තුළට තේ වගාව ව්‍යාප්ත කරනු ලැබේ. මීට අමතරව මාණික්කවත්ත ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 300 ක් පමණ අනවසරින් අල්ලා ගෙන ගුරුගේ මැණික් ව්‍යාපාරය හිමිකරු විසින් මහ පරිමාණ මැණික් ගැරීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මේ ප‍්‍රදේශයේම මුස්ලිම් ව්‍යාපාරිකයකු විසින් මහ පරිමාණයෙන් ගස් කපා විකිණීමේ ජාවාරමක් ඉතා සූක්ෂමව ක‍්‍රියාත්මක කරයි. ඊට අමතරව හොර මත්පැන් පෙරීමේ ව්‍යාපාරයක් ද වනාන්තරය තුළ ක‍්‍රියාත්මක කෙරේ. මත්පැන් පෙරීම සඳහා වනාන්තරයේ හැඩවක ශාක බහුලව කපා ගැනීම ද සිදු කරයි. මාණික්කවත්ත සිංහරාජයේ ජීවත්වන අලි තිදෙනා නිතර ගැවසෙන ප‍්‍රදේශයක් වන අතර මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම ඉතාම දරුණු තත්ත්වයකට පත්වීමට හේතු වී ඇත්තේ ද මේ හානිකර මානව ක‍්‍රියාවන්ය. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ සිංහරාජ අඩවිය හරහා සකස් කිරීමට සූදානම් වන මාර්ගය හේතුවෙන් ද මේ වනාන්තර පද්ධතියේ ඉදිරි පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වනු ඇත. ඉලූඹකන්දේ සිට සූරියකන්ද දක්වා ඉදි කරනු ලබන මාර්ගය සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය හා රක්වාන කඳු පන්තිය මෙන්ම හඳපානඇල්ල වනාන්තර ප‍්‍රදේශය වෙන් කරමින් සකස් කිරීමට යෝජිතව ඇත. එපමණක් නොව මේ මාර්ගය ඉදි කිරීමෙන් අනතුරුව ඒ ආශ‍්‍රිතව පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් බොහොමයක් තේ වගාව හා හෝටල් ඉදිකිරීම සඳහා භාවිතයට ගැනීමට සැලැසුම් කර තිබේ. මේ වන විට ඉළුඹකන්ද ගම්මානයේ අවසානයේ පිහිටි බෙරගල මූකලාන යෝජිත රක්ෂිතයේ මායිම දක්වා කොන්ක‍්‍රීට් අතුරා මාර්ගය සකස් කර තිබේ. එතැන් සිට යෝජිත රක්ෂිතය හරහා සකස් කිරීමට යෝජිතව ඇති මාර්ගය පෙත්ත දොළ හා නෙළුකැටියාවල දොළ හරහා සකස් කිරීමට සිදු වේ. දැනට කොන්ක‍්‍රීට් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට පෙත්ත දොළට මීටර 100 ක් පමණ දුරක් තිබේ. ඉළුඹකන්ද ගම්මානයේ අවසාන කොටසේ වනාන්තර එළි පෙහෙළි කරමින් තේ වගාව බහුලව යෝජිත රක්ෂිතය තුළට ව්‍යාප්ත කර ඇති අතර එම කොටසේ මේ වන විට මාර්ගය සකස් කර ඇත. එහි දී දොළ පහරවල් ගණනාවකට හානි සිදු කර තිබේ. මේ මාර්ගයත් සමඟම තවදුරටත් තේ වගාව වනාන්තරය තුළට ව්‍යාප්ත කිරීම වර්ධනය විය හැකි ය. වනාන්තරය තුළ තවදුරටත් මාර්ගය ඉදිවුවහොත් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය හා රක්වාන කඳුවැටියෙන් හා හඳපාන්ඇල්ල වනාන්තරයේ සැලූම්ලත් බෙරගල මූකලාන වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම ඛන්ඩනය වීම සිදු වේ. රක්වාන කඳුවැටියත් හඳපාන්ඇල්ල ප‍්‍රදේශයත් ඉතාම සුවිශේෂී වනාන්තර පද්ධතියකි. මුළු ලොවින්ම මේ ප‍්‍රදේශයේ පමණක් වාර්තාවන උභයජීවී විශේෂ 8 ක් පමණ වේ. මාර්ගය සකස් කිරීමෙන් හා ඉන් අනතුරුව තේ වගාව ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඉදිකිරීමෙන් සිදුවන වනාන්තර ඛන්ඩනය වීමෙන් උභයජීවී විශේෂ ඉතාම කෙටි කලකින් මේ ප‍්‍රදේශයෙන් වඳ වී යාම සිදු විය හැකිය. තේ වගාව ව්‍යාප්ත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ සඳහා යොදන රසායනික පලිබෝධනාශක සහ පොහොර වර්ග හේතුවෙන් ද උභයජීවීන් ගේ පැවැත්මට ඉතා දරුණු බලපෑම් එල්ල විය හැකිය. පසුගිය සියවස තුළ මුළු ලොවින්ම වඳ වී ගියා යැයි සැක කෙරෙන උභයජීවී විශේෂ 34 අතුරින් 21 ක් ම ලංකාවෙන් වඳ වී ගොස් ඇත්තේ (මින් විශේෂ 2 ක් නැවත වාර්තා කර ඇත). වනාන්තර විනාශය, වනාන්තර ඛන්ඩනය හා අධික රසායනික පළිබෝධනාශයක භාවිතය යන හේතූන් නිසාවෙනි. සිංහරාජ අඩවිය වටා තේ වගාව ව්‍යාප්ත කිරීමෙන් හා මේ වනාන්තර පද්ධතිය විවිධ මානව ක‍්‍රියාකාරකම්වලට යොදා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඛන්ඩනයට ලක් කිරීමෙන් අවසානයේ සිදුවන්නේ තවත් ජීවී විශේෂ බොහොමයක් මිහිමතින් වඳ කර හැරීමකි. මේ පිළිබඳ ව ප‍්‍රතිපත්ති තීරකයින් ගේ හා සැලැසුම් සකස් කරන්නන්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි. සිංහරාජ මායිමේ දෙනියාය, එන්සල්වත්ත ප‍්‍රදේශයේ ඉදිකර ඇති Rainforest Eco Lodgeහෝටලය හේතුවෙන් ද සිංහරාජ අඩවියට හානිකර බලපෑම් බොහොමයක් උද්ගත වෙමින් පවතී. මේ හෝටලය පිහිටා ඇත්තේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පවරා ගෙන ඇති වනාන්තර ප‍්‍රදේශයක් මධ්‍යයේ ය. මේ හෝටලයට පිවිසීම සඳහා කිලෝමීටර 5 ක පමණ දුර ප‍්‍රමාණයක් වනාන්තරය තුළින් ගමන් කළ යුතු ය. මේ හෝටලයේ වැසිකිලි හා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය රඳවන වලවල්වලින් උතුරා යන අපද්‍රව්‍ය ඍජුව යොමු වන්නේ හෝටලය ආසන්නයෙන් වනාන්තරය තුළින් ගලා යන පිටමංගල දොළට ය. මෙම අපජලය රැුඳවුම් වලවල් පද්ධතියේ අපද්‍රව්‍ය නිරන්තරයෙන් පිටාර ගැලීම සිදු වේ. මේ දොළේ ජලය ඊට තරමක් පහළින් පිහිටි විහාරහේන ඇතුළු ගම්මාන රැසක ජනතාව භාවිතයට ගනු ලැබේ. මේ ආකාරයෙන් දොළේ ජලය අපිරිසිදු වීම එහි ජීවීන්ගේ පැවැත්මට අහිතකර තත්ත්වයක් ඇති කරන අතරම මේ ජලය පානය කිරීම හේතුවෙන් අවට වෙසෙන ජනතාවට විවිධ රෝගාබාධ වැළැඳීමේ තත්ත්වයක් ද ඉදිරියේ දී උද්ගත විය හැකි ය. මේ හෝටලයෙන් ඉවත් කරන පොලිතීන් ඇතුළු සියලූම අපද්‍රව්‍ය වලවල් හාරා ඒ තුළ රඳවා වසා දැමීම සිදු කරයි. ඉතාම සංවේදී වනාන්තරයක් තුළ ස්ථානගත කර ඇති මේ හෝටලයෙන් මෙලෙස හානිකර ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් පස සහ ජලය දූෂණය පාංශුවාසී ජීවීන් ගේ හා ජලජ ජීවීන් ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් ඇති කරයි. රාත‍්‍රී කාලයේ දී වනාන්තරය මධ්‍යයයේ පිහිටි මේ හෝටලය ආලෝකමත් කිරීමේ දී ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජීවත් වන කෘමි සතුන් අති බහුතරයක් විදුලි ආලෝකය සහිත ස්ථානවලට පැමිණ ඒවායෙහි ගැටී මිය යෑම සිදු වේ. එය වනාන්තරයේ කෘමි සතුන් ගේ ගහනයේ පැවැත්මට හා එම සතුන් මත යැපෙන අනෙක් ජීවීන් ගේ පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑ හැකි ය. මෙවන් හානිකර තත්ත්වයන් ගණනාවක් පවතිද්දී Rainforest Eco Lodge හෝටලය සඳහා හොඳම සංචාරක හෝටලයක් ලෙස ප්ලැටිනම් සම්මානය හිමි වීම හාස්‍යයට කරුණකි. Ecoනාමයෙන් පවත්වාගෙන යන මෙම හෝටලය හේතුවෙන් ඉදිරියේ දී සිංහරාජ අඩවියේ පැවැත්මට ඉතාම හානිකර තත්ත්වයන් රැුසක් උද්ගත විය හැකි ය. මේ නිසා මේ හෝටලයේ අපජලය පිරිපහදු පද්ධතියක් සැකසීමට හා අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදු කිරීමට යොමු කිරීම අත්‍යවශ්‍යව ඇත. එපමණක් නොව මෙහි ක‍්‍රියාකාරිත්වය නිරන්තරයෙන් පසු විපරම් කිරීම ද අවශ්‍යය. වැරදි තීරණ මත නුසුදුසු ස්ථානයක හෝටල් ඉදිකිරීමට අවසර ලබාදීමෙන් ඇති වන හානිකර තත්ත්වය මින් ඉතා හොඳින් අවබෝධ කර ගත හැකි ය. ඉදිරියේ දී මෙවන් දෑ සිදු කිරීමේ දී මෙය පූර්වාදර්ශයක් ලෙස ගෙන නැවත මෙවන් වැරදි සිදු නොකිරීමට අදාළ රාජ්‍ය අංශ යොමු වීම අවශ්‍ය ය. සිංහරාජ අඩවියේ ඉතාම සුවිශේෂී ප‍්‍රදේශයක් වන්නේ ගොන්ගල කන්ද ඇතුළු වනාන්තර ප‍්‍රදේශය යි. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වනාන්තර ප‍්‍රදේශය දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් පවතී. නමුත් මේ වන විට එම ප‍්‍රදේශයේ හානිකර ක‍්‍රියාකාරකම් රැුසක් සිදු වේ. විශේෂයෙන්ම සංඥා කුළුණු ඉදිකිරීම සඳහා හා පිවිසුම් මාර්ග ඉදිකිරීම සඳහා මෙම කඳු මුදුනේ බොහෝ ප‍්‍රදේශවල වනාන්තර සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. මුළු ලොවින්ම මෙම ප‍්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂ ගණනාවක් මේ වන විට නාමකරණය කිරීම සඳහා හඳුනා ගෙන තිබේ. එවන් තත්ත්වයක් තුළ මේ වනාන්තර ප‍්‍රදේශය කඩිනමින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට ඇතුළත් කර නීතිමය ආරක්ෂාව ලබාදීම අත්‍යවශ්‍යව ඇත. එසේ නොවුනහොත් මේ ප‍්‍රදේශය සංඥා කුළුණු ඉදිකරමින් කෙටි කාලයක් තුළ විනාශ කර දමනු ඇත. මෝර්නින්සයිඞ් හා ගොන්ගල ආදී ප‍්‍රදේශවල සිංහරාජ වනාන්තර පද්ධතියට ඇති තවත් ප‍්‍රධාන ගැටළුවක් වන්නේ ඉහළ කඳුකර වනාන්තරවල යටි වගාව ඉවත් කරමින් සිදු කරන එනසාල් වගාව ය. එනසාල් වගාව හේතුවෙන් උභයජීවීන්, උරගයින් ඇතුළු මේ ප‍්‍රදේශයට පමණක් ආවේණික සත්ත්ව ප‍්‍රජාවට හා ශාක ප‍්‍රජාවට විශාල තර්ජනයක් එල්ල වී ඇත. මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් ක‍්‍රියාමාර්ග නොගතහොත් සමහර ජීවී විශේෂ මේ ප‍්‍රදේශයෙන් ඉතාම කෙටිකාලයක් තුළ සම්පූර්ණයෙන්ම වඳ වී යනු ඇත. නෙළුව, ලංකාගම ආදී ප‍්‍රදේශවල සිංහරාජ අඩවියේ මායිමෙන් ගලා යන දියපහරවල් හරස් කරමින් ජලවිදුලි බලාගාර ඉදිකිරීම බහුල ලෙස සිදු කෙරෙමින් පවතී. මීට අමතරව ඉදිරියේ දී ජලවිදුලි බලාගාර කිහිපයක් ඉදිකිරීමට සැලැසුම් කර තිබේ. දියපහරවල වේලි ඉදිකර කිලෝමීටර කිහිපයක් දියපහරවල ජලය ගලායාම අවහිර කර කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිංහරාජ ආශ‍්‍රිත දියපහරවල ජීවත්වන ලංකාවට ආවේණික තෙත් කලාපයේ පමණක් ජීවත්වන මත්ස්‍යයින්, මිරිදිය කකුළුවන්, මිරිදිය ඉස්සන් හා ලංකාවට ආවේණික ජලජ ශාක වන කෙටල, කෙකටිය හා අතිඋඩයන් ශාකවල පැවැත්මට හානිකර බලපෑම් රැුසක් එල්ලවිය හැකි ය. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සිංහරාජ අඩවිය මායිමේ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම සම්පූර්ණයෙන් නතර කළ යුතුව ඇත. මේ තත්ත්වයන් පිටු දකිමින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි සියලූ වනාන්තර මේ වන රක්ෂිතයට ඈදා ගනිමින් සමස්ත සිංහරාජ අඩවිය රැුකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක් නිසා නො ව, එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම නිසා ය. මේ පිළිබඳ ව එකල අවබෝධ කර ගත් පාලකයන් එය රැුකගැනීමට උත්සාහ දැරුව ද, අද සිටින අඥාන දේශපාලකයන් මෙය වැනැසීමට පිඹුරුපත් සකසති. ලිඛිත සාධකවලට අනුව සිංහරාජ අඩවියට ආරක්ෂාව සැලැසීම ආරම්භ වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ දී ය. Waste Lands Ordinance නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වන දින අංක 4046 දරන ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්ටයාර 2428.1 කින් යුත් වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කැරිණි. 1926 මැයි 21 වන දින තවත් හෙක්ටයාර 3724.6 ක් ඊට එක් කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට - කළුකඳාව ආදී ප‍්‍රදේශවලින් සිංහරාජය තුළට මාර්ග සකස් කර, තුනී ලෑලි සංස්ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කැරිණි. 1978 අපේ‍්‍රල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන අවස්ථාව වන විට තුනී ලෑලි සංස්ථාව සඳහා දැව හෙළීම් කටයුතු පරිසර ලෝලීන් ගේ කරුණු ඉදිරිපත් කිරීම් නිසා සම්පූර්ණයෙන් ම නවතා දමා තිබිණි. 1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මඟින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප‍්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කැරිණි. අද දින තෙක් මේ පනතට අනුව ප‍්‍රකාශයට පත් කළ එක ම වනාන්තරය මෙය යි. පසු ව 1989 වසරේ දී යුනෙස්කෝව : (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) විසින් ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරුමය ලෙස සිංහරාජය ප‍්‍රකාශයට පත් කැරිණි. සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමඟ ම මේ ආකාරයෙන් සිංහරාජය ආරක්ෂා කිරීම සඳහා ජාතික හා අන්තර්ජාතික මට්ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ ව පර්යේෂණ අති විශාල ප‍්‍රමාණයක් සිදු කර තිබේ. එ් අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ ව අප සතු දැනුම ඉතා විශාල ය. ඒ දැනුම උපයෝගී කරගෙන සිංහරාජ අඩවියේ රක්ෂිත වනාන්තර ප‍්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988 න් පසු ව ගෙවී ගිය වසර 25 ක කාලය මුළුල්ලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. ඒ නොහැකියා ව නිසා ම සිංහරාජ අඩවියට අයත් දැනට රක්ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වී ඇත. සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලූ දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත. ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ. දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita),ගිනි හොට (Cyathea spp),වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria),වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyiශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ. ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus),ඉරුරාජ (Zeuxine regia),මහාපද්ම (Podochilus malabaricus) කුඩාපද්ම (Podochilus saxatilis),ජටාමකුට (Flickingeria macraei),වෙසක් මල් (Dendrobium maccarthiae) අතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය. ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus),ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus),තුඩරෑන (Calamus ovoideus),නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii),වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ. සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneriශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි. සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවැනි තත්ත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 448 ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 137 ක් නැතහොත් 31% ක් ලංකාවට ආවේණික වෙයි. ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.17% ක් පමණ වන සිංහරාජය තුළ ඉහත සත්ත්ව කාණ්ඩ හයට අයත් ලංකාවේ ගෙඩබිම් ප‍්‍රදේශයේ වාර්තා වන සත්ත්ව විශේෂ අතුරෙන් 39% ක් වාර්තා වන අතර, ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් 39% ක් ද සිංහරාජයෙන් වාර්තා වේ. මෙය ඉහළ සුවිශේෂත්වයකි. මේ තත්ත්වය අප නිවැරැුදි ව අවබෝධ කර නොගන්නාතාක් සිංහරාජයට නියමිත ආරක්ෂාව ලබා දීමට අපොහොසත් වනු ඇත. ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් 11 ක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ පහක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් :කුණු හික් මීයා - Crocidura hikmiya හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ දෙකක් Ceylonthelphusa savitriaeහා Perbrinckia rosae සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricaudsනම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 20 ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂ්‍ය අතුරෙන් එකකි. සිංහරාජ අඩවියේ වාර්තාවන සත්ත්ව විවිධත්වය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ වාර්තා වන සත්ත්ව විවිධත්වය හා සිංහරාජයේ වාර්තා වන සත්ත්ව විවිධත්ව සංසන්දනය ලංකාව අවට මුහුදු සීමාවේ හැර අභ්‍යන්තර ප‍්‍රදේශයේ පමණක් වාර්තා වන සත්ත්ව විශේෂ ගණන සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් 11 අතුරෙන් විශේෂ අටක් 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා : (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා : (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය. මීට අමතර ව ඉතිරි විශේෂ තුන 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට ලක් වූවෝ වෙති. එනම් රන්වන් පඳුරු මැඬියා (Pseudophilautus auratus), තියුණු හොඹු පඳුරු මැඬියා : (Pseudophilautus cuspis) හා කැළෑ පඳුරු මැඬියා (Pseudophilautus silvaticus) ය. සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ පහ ම 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයක් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus) සිංහරාජයේ සුලභ බව ප‍්‍රවීණ සත්ත්ව විද්‍යාඥයකු වූ පී.බී. කරුණාරත්න මහතා දක්වා තිබේ. අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu) මෝර්නින් සයිඞ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai) හා මෝර්නින්සයිඞ් මහකැළෑ හූනා : (Cyrtodactylus subsolanus) යන සිංහරාජ අඩවියට ආවේණික සිවුපා උරගුන් හතර දෙන ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක්ව තිබේ. මෙහි ඉතා ම කනගාටුදායක තත්ත්වය වන්නේ සිංහරාජ අඩවියට ආවේණික සත්ත්ව විශේෂ 20 අතුරෙන් උරග, උභයජිවී හා කකුළුවන් යන සත්ත්ව කාණ්ඩ තුනට අයත් විශේෂයන් ගෙන් වැඩි ප‍්‍රමණයක් සිංහරාජ අඩවියේ අනාරක්ෂිත ප‍්‍රදේශ වන මෝර්නින් සයිඞ් ප‍්‍රදේශයට, ගොන්ගල ප‍්‍රදේශයට හා හඳපාන් ඇල්ල (රක්වාන කඳු වැටියට අයත්) ප‍්‍රදේශයට සීමා වී පැවැතීම යි. මේ ප‍්‍රදේශ එනසාල් වගාවන් සඳහා සීග‍්‍රයෙන් එළි පෙහෙළි කැරෙන අතර මේ වනාන්තර ඉඩම් වැවිලි සංස්ථාවට හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වේ. ඒ ආයතනය මේ ඉඩම් පෞද්ගලික අංශය සඳහා බදු දී තිබේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. එනසාල් වගාව සඳහා මේ ප‍්‍රදේශයේ යටි වගාව එළි පෙහෙළි කරන සෑම වාරයක් පාසා ම සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ මුළු ලොවින් ම තුරන් වීමේ අවදානමට සීග‍්‍රයෙන් ආසන්න වේ. මේ තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට දැනට යෝජිත ඉළුඹකන්ද - සූරියකන්ද මාර්ග ව්‍යාපෘතිය හේතුවනු නොඅනුමාන ය. බලධාරීන් මෙවැනි දෑ සඳහා පිළියම් යෙදීමට උත්සාහ නොගෙන, සංචාරක ව්‍යාපාරය සිංහරාජයේ ප‍්‍රවර්ධනය කිරීම සඳහා පමණක් පිඹුරුපත් සැකැසීම පිළිබඳ ව අපි කනගාටු වෙමු. ඒ තත්ත්වය වහා ම නතර කර වනජීවීන් ගේ රැුකවරණය සැලැසීම සඳහා වැඩි අවධානයක් යොමු කරවන ලෙස ජාතියේ නාමයෙන් අපි බලධාරීන් ගෙන් ඉල්ලා සිටිමු. සිංහරාජ අඩවියේ භාරකරුවා වන, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසු ව අද වන තෙක් සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක් උපද්දවා මහා භාණ්ඩාගාරය තර කිරීමට පමණක් වෙහෙසෙයි. ඒ හැර සිංහරාජ අඩවියේ වනජීවීන් ගේ රැුකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලැසුම්වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි. සිංහරාජ අඩවිය වටා සිදු වන නීති විරෝධී ක‍්‍රියා මැඬලීමට නීතිය ක‍්‍රියාත්මක කිරීම හා සංරක්ෂණ සැලසුම් සකස් කිරීම වෙනුවට නිලධාරීන්ට සිදු වී ඇත්තේ සංචාරකයන් සඳහා ටිකට්පත් නිකුත් කිරීම හා සංචාරකයනට අවශ්‍ය පහසුකම් සලසා දීමට ය. මේ සඳහා වැඩි සේවක පිරිසක් හා කාලයක් යෙදවීමට සිදු වීම නිසා සිංහරාජය වටා සිදු වන, වන අපරාධ ප‍්‍රමාණයට සාපේක්ෂව ඊට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මේ නිසා ම දැව ජාවාරම, තේ වගාව සඳහා වනාන්තර නිරන්තරයෙන් එළි පෙහෙළි කිරීම හා වන සත්ත්ව දඩයම යන ප‍්‍රධාන නීති විරොධී ක‍්‍රියා සිංහරාජය වටා නිරන්තරයෙන් සිදු වේ. මේවායෙහි අතුරු ප‍්‍රතිඵල ලෙස පොතුපිටිය, දෙනවක්කන්ද, රක්වාන, ඉළුඹකන්ඳ, කෝපිකෑල්ල ආදී ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම ඉතා උග‍්‍ර තත්ත්වයට අද වන විට පත් ව තිබේ.
Posted on: Wed, 12 Jun 2013 07:33:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015