පෙරදිග විද්‍යාත්මක - TopicsExpress



          

පෙරදිග විද්‍යාත්මක ක්‍රමය අද ලෝකයේ ඇති යම් දැනුමක් සත්‍ය දැයි පරීක්ෂා කරන මිනුම් දණ්ඩ ලෙස බොහෝ දෙනා පිළිගන්නේ බටහිර විද්‍යාත්මක ක්‍රමයයි. බොහෝ විට මෙය හුදෙක් විද්‍යාත්මක ක්‍රමය ලෙසම හදුන්වනු ලැබේ. එහි යටි අරුත නම් එය ලෝකයේ ඇති සහ තිබිය හැකි එකම, සත්‍ය සහ වාස්තවික විද්‍යාත්මක ක්‍රමය බවයි. එහෙත් විද්‍යාත්මක ක්‍රමයද දැනුමකි. සියලු දැනුම් යම් සංස්කෘතියක නිර්මාණය වෙයි. එබැවින් එය යම් චින්තනයකට සාපේක්ෂ වෙයි (කොටින්ම මේ ප්‍රකාශයද එකී සාපේක්ෂ බවෙන් නොමිදෙයි). බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට සාපේක්ෂව නිර්මාණය වූ දැනුම නිර්මාණය කරන සහ පරීක්ෂා කරන සම්මත ක්‍රමය බටහිර විද්‍යාත්මක ක්‍රමයයි (එහෙත් බොහෝ බටහිර දැනුම් පද්ධති වලද මෙකී ක්‍රමය අනුගමනය නොකරන අවස්ථා දක්නට ඇත. ඒ වෙනුවට ඇත්තේ නිරීක්ෂණ මත පදනම් වූ ක්‍රමයකි. උදා ලෙස සමාජ විද්‍යාව හෝ තාරකා විද්‍යාව ගත හැකිය. එවැනි ක්ෂේත්‍රවල නැවත නැවත කළ හැකි පාලිත තත්ව යටතේ සිදු කෙරෙන පරීක්ෂණ සංවිධානය කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි. ඒ වෙනුවට වෙන්නේ නිරීක්ෂණ (මේ නිරීක්ෂණද සාපේක්ෂ නිරීක්ෂණ බව අමතක නොකළ යුතුය) පැහැදිලි කිරීමට යම් යම් ප්‍රවාද ඉදිරිපත් කිරීමය. නිරීක්ෂණ වැඩි ප්‍රමාණයක් පැහැදිලි කිරීමට යම් ප්‍රවාදයක් සමත් වේ නම් එය සත්‍ය ලෙස පිළිගැනේ. මේ ලිපියේ අරමුණ අපට සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාත්මක ක්‍රමයක් නිර්මාණය කරගත හැකිදැයි යන ප්‍රශ්නය ඇසීමය. බොහෝ විට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ නිර්මාණය වන දැනුම් පරීක්ෂා කෙරෙන්නේද බටහිර විද්‍යාත්මක ක්‍රමයෙනි. උදා ලෙස බෝධි පූජා හෝ පිරිත් වල විද්‍යාත්මක පසුබිම නමින් ඉදිරිපත් වන ලිපි ආදිය සැලකිය හැකිය. සමහර විට භික්ෂූන් වහන්සේලා විසින්ම රචනා කරන මෙවැනි ලිපි වල අරමුණ බටහිර විද්‍යාත්මක ක්‍රමයෙන් බෝධි පූජා හෝ පිරිත් වල බලපෑම පැහැදිලි කිරීමට උත්සාහ දැරීමය. එමගින් මේවාට වැඩි පිළිගැනීමක් ලැබෙනු ඇතැයි උන්වහන්සේලා සිතනවා විය හැකිය. එසේ වන්නේ ඇයි? ඊට හේතුව බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඇති සමාජ පිළිගැනීම විය යුතුය. මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දැනු ආසනික් ප්‍රශ්නයද ලංකාවේ මාධ්‍යවේදීන්, උගතුන් සහ මහජනතාව වැඩි ප්‍රමාණයක් පිළිගත්තේ එය බටහිර විද්‍යාත්මක ක්‍රමට අනුවද වලංගු වන බව පෙන්වා දීමෙන් අනතුරුවය. එයින් පෙනී යන්නේ බටහිර විද්‍යාත්මක ක්‍රමය ලෝකයේ ප්‍රධානම දැනුම මනින මිනුම් දණ්ඩ ලෙස මෙවැනි කාරණා සම්බන්ධයෙන් භාවිත වන බවයි. විශේෂයෙන්ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නොවන සංස්කෘති වල නිර්මාණය වන දැනුම් ගැන එය තදින්ම යොදා ගනු දැකිය හැක. එහෙත් ඉහත කී පරිදි බටහිර දැනුමේද ඇතැම් ක්ෂේත්‍රවල එය එතරම් දැඩිව යොදා නොගනී. හුදු නිරීක්ෂණ මතම පදනම් වෙන අවස්ථාද ඇත. නැතහොත් කිසිදු පරීක්ෂණයකින් තොරව කල්පිත මත පදනම් වන අවස්ථාද ඇත. උදා ලෙස බෙන්සින් අණුවේ හැඩය මුලින් ඉදිරිපත් කෙරුණේ ඒ පිළිබද සෘජු නිරීක්ෂණයකින් පසුව නොවේ. එහෙත් එමගින් කාබනික රසායන විද්‍යාව පැහැදිලි කළ හැකි වූ නිසා එය පිළිගැනිණි. සෘජු නිරීක්ෂණවලින් එය තහවුරු කෙරුනේ බොහෝ කලකට පසුය. හිගිස් බෝසෝනය පිළිබද කතාවද මෙවැන්නකි. එය පරීක්ෂණ මගින් වක්‍රව හෝ (මේ තහවුරු කිරීම සම්බන්ධව බටහිර විද්‍යාඥයන්ත අතරද මතභේද ඇත) තහවුරු කිරීමට පෙරම එය පිළිගැනී තිබිණි. පරීක්ෂණය කෙරුනේම එය වඩාත් තහවුරු කරන අරමුණේනි. මෙය දෙබිඩි පිළිවතකි. බටහිර දැනුම සම්බන්ධව බටහිර විද්‍යාත්මක ක්‍රමය එතරම් දැඩිව යොදා නොගැනෙන අතර වෙනත් දැනුම් මැඩලීමට එය අවියක් ලෙස භාවිත කෙරේ. එය එසේ සිදුවී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති ආක්‍රමණශීලී ස්වභාවය නිසාය. ආචාර්ය නලින් ද සිල්වා මහතා පවසන ආකාරයට සිංහල බෞද්ධ සංස්කෘතියේ දැනුම නිර්මාණය කෙරෙන හෝ දැනුම ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය ප්‍රත්‍යක්ෂ්‍යයයි. ඊට අමතරව සිංහල බෞද්ධ සංස්කෘතිය තුළම පිහිටා දැනුම නිර්මාණය කළ හැකි බවත් ඊටත් අමතරව වෙනත් සංස්කෘතිවල නිර්මාණය කරන දැනුම් අවශෝෂණය කළ හැකි බවත් ඒ මහතා පවසයි. මේ ආකාරයට තුන් ආකාරයකින් දැනුම නිර්මාණය කිරීමට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අවකාශ ඇත (සමහර යාවත්කාලීන පෙරදිග දැනුම් පද්ධති වල ප්‍රත්‍යක්ෂ්‍යයෙන් ගොඩනගා ගත් මූලික දැනුම මත පිහිටා උද්ගමනයෙන් එය වඩා වර්ධනය කරන්නට දරන උත්සාහයන්ද දක්නට ඇත. එය කොතරම් දුරට සාර්ථකද නැද්ද යන්න එකහෙළා කිව නොහැකිය. ජ්‍යොතිෂ්‍ය, සිංහල වෙදකම ආදියේ ප්‍රත්‍යක්ෂ්‍යයෙන් ආ මූලික දැනුම මත පිහිටා පර්යේෂණ කොට උද්ගමනයෙන් ඒවා වර්ධනය කරන්නට උත්සාහ දරන අය සිටිති. සමහර විට බටහිර දැනුමේ ආභාෂය මේ අයට බලපා තිබෙන්නට ඇත). ප්‍රශ්නය නම් මෙසේ නිර්මාණය කරන දැනුම (විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන් නිර්මාණය කෙරී ඇති සහ කෙරෙන දැනුම) පිළිගැනීමට හෝ පරීක්ෂා කිරීමට භාවිතා වන ක්‍රමය කුමක්ද යන්නය. එයට නව විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය වෙයි. ඇත්ත වශයෙන්ම මෙවැනි විද්‍යාත්මක ක්‍රමයක් දැනටමත් අවිඥාණිකව භාවිත වන බව අපේ හැගීමය. එහෙත් ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් වී ඇතැයි අපි නොසිතමු. සිංහල බෞද්ධ සංස්කෘතියේ භාවිත වන විද්‍යාත්මක ක්‍රමය සහ පොදුවේ පෙරදිග සංස්කෘතියේ එන විද්‍යාත්මක ක්‍රමය උපයෝගීතාව (utility) මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමයකි. එහෙයින්ම එය විද්‍යාත්මක ක්‍රමයක් ලෙස හැදින්විය හැකිද යන්න ප්‍රශ්නයකි. එහෙත් එය දැනුම උරගා බලන පරීක්ෂා කර බලන ක්‍රමයකි. එහිදී සිදුවන්නේ ඒ දැනුම පරීක්ෂා කිරීම මහජනතාවටම බාර කිරීමය. බටහිර විද්‍යාවේ මෙන් විද්‍යාඥයන් හෝ පර්යේෂණ සගරා වල ඒකාධිකාරයක් එහිදී නැත. හුදෙක් ඒ දැනුම භාවිතා කර යම් ප්‍රයෝජනවත් කාර්යයක් කර ගැනීමට හැකිනම් හෝ යම් සංසිද්ධියක් එකී දැනුම ඔස්සේ පැහැදිලි කරදීමට හැකිනම් එය (සාපේක්ෂ වශයෙන්) සත්‍ය දැනුමක් ලෙස පිළිගැනේ. උදාහරණයක් සලකමු. සර්ප වෙදකමේ හෝ කැඩුම් බිදුම් වෙදකමේ ඇති දැනුම පරීක්ෂා කර ඇත්තේ කෙසේද? හුදෙක් ඒ දැනුම භාවිතා කිරීමෙනි. අතීතයේ වෙදැදුරන්ට අමතරව සාමාන්‍ය ජනතාවටද සෑහෙන දැනුමක් වෙදකම ගැන පැවති බවට සාධක ඇත. ඔවුන් අතර පැවති දැනුමත් අර වෙදැදුරන් අතර පැවති දැනුම මෙන්ම භාවිත විය. මේ දැනුම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය. ඒ ප්‍රදේශවල වැඩෙන ශාක සහ දේශගුණය අනුව එසේ වන්නට ඇතැයි සිතිය හැකිය. එහිදී වැදගත් වූයේ එකී දැනුමෙන් යම් ප්‍රායෝගික භාවිතාවක් ගත හැකිද යන්න මිස වඩා සත්‍ය දැනුම හෝ නිරපේක්ෂ සත්‍ය දැනුම කුමක්ද යන්න නොවේ. අප දකින ආකාරයට මෙය දැනුම පරීක්ෂා කෙරෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි. අවසාන වශයෙන් ඕනෑම දැනුමක් බලපාන්නේ මිනිසුන්ටය. එසේ නම් ඒ දැනුම ගැන තීරණ ගැනීමේ අවස්ථාවද ඒ අයට තිබිය යුතුය. නමුත් බටහිර විද්‍යාත්මක ක්‍රමයේ සහ විද්‍යාත්මක සගරා සහ පත්‍රිකා ක්‍රමයේ ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් එහි ඇති දැඩි ඒකාධිකාරී සහ අධිකාරී ස්වරූපයයි. ලංකාව වැනි රටක සිටින ආචාර්ය උපාධි ලබා ගත් අයකුට පවා උසස් යැයි සම්මත බටහිර විද්‍යා සගරාවල පත්‍රිකාවක් පළකර ගැනීම ඉතා අපහසු කාරියකි. ඊට සෑහෙන මුදලක්ද වැය වෙයි. Peer review ක්‍රමය අඩුපාඩු ගහණ සහ ඉතා සාපේක්ෂ ක්‍රමයකි (Peer review: a flawed process at the heart of science and journals). ඒ ක්‍රමය නිසාම ප්‍රතික්ෂේප වන වැඩක් ගත හැකි දැනුම් ප්‍රමාණය ඉතා විශාල විය හැකිය. එසේම මේ ක්‍රමයෙන් සම්මත වෙන දැනුම් සත්‍ය බවට ඇති සහතිකය කුමක්ද? පර්යේෂණ සගරා වල පළ කරන දැනුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පසු කාලීනව අසත්‍ය බවට පත් වී ප්‍රතික්ෂේප වෙයි. කරුණු එසේ තිබියදී බටහිර විද්‍යාත්මක ක්‍රමය හෝ පර්යේෂණ පත්‍රිකා සහ සගරා ආදිය දැනුම පරීක්ෂා කරන එකම මිනුම් දණ්ඩ ලෙස නිර්ණය කළ හැකිද? 40 percent of scientific papers published in the world’s top medical journals misrepresented the actual findings of the research New study claims nearly 90 percent of cancer research is wrong ඕනෑම දැනුමක් විවෘත කළ විට එය වැඩි පිරිසකට පරීක්ෂා කර බැලිය හැකිය. උදා ලෙස කෙම් ක්‍රම ගනිමු. බටහිර විද්‍යාවට අනුව නම් කෙම් ක්‍රම මිත්‍යාවකි. එහෙත් මේ මතයට එළඹීමට පෙර කිසිවකු විසින් කෙම් ක්‍රම යොදාගෙන පරීක්ෂණයක් කර ඇති බවක් දැන ගන්නට නැත. කෙසේ වෙතත් මේ දැනුම ප්‍රත්‍යක්ෂ්‍යයෙන් ලැබුන දැනුමක් යැයි අප සිතමු. එනම් පංච ඉන්ද්‍රියන් යොදා නොගෙන හුදෙක් මනේන්ද්‍රියෙන් සෘජුව ලබාගත් දැනුමකි. දැන් මේ දැනුම නිවරදිදැයි පරීක්ෂා කරන්නේ කෙසේද? ඒ සදහා ඇති එකම ක්‍රමය ඒ දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලීමය. එහිදී එයින් ප්‍රතිඵල ඇත්නම් ඒ දැනුම සාපේක්ෂ වශයෙන් සත්‍ය සහ ප්‍රයෝජනවත් දැනුමක් වෙයි. නැතහොත් ඒ දැනුම ප්‍රතික්ෂේප වෙයි. අප දකින ආකාරයට සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති දැනුම පරීක්ෂා කරන ක්‍රමය, විද්‍යාත්මක ක්‍රමය මෙය වෙයි. එහිදී යම් විශේෂිත පිරිසක් (එනම් බටහිර විද්‍යාඥයන් වැනි හෝ පර්යේෂණ සගරා මුද්‍රණය කරන සංගම් වැනි) දැනුම පරීක්ෂා කිරීමට මැදිහත් නොවෙයි. බටහිර විද්‍යාවට මේ සම්ප්‍රදාය ලැබී තිබෙන්නේ දෙවියන් සහ මහජනතාව අතර අතරමැදියන් ලෙස කටයුතු කරන පූජක සම්ප්‍රදායෙනි. විද්‍යාඥයන් යනු දෙවියන් වහන්සේ විශ්වය මවා ඇති නියම පරීක්ෂා කර ඒවා අනිකුත් මහජනතාවට හදුන්වා දෙන පුජක පිරිසක් වැන්න (විශ්ව විද්‍යාල වල උපාධි ප්‍රධානෝත්සවවලට ගිය විට මේ පූජක පිරිස තම තමාගේ පූජක වරය අනුව අදාළ ලෝගු පැළද සිටින ආකරය දැකගත හැකිය. මෙයම බටහිර නීති සම්ප්‍රදායේත් එයි. එහි සිටින විනිසුරුවන් සහ නීතීඥයන් සාමාන්‍ය ජනතාවට ඉහළින් සිටින විශේෂිත පිරිසක් වෙති. ඔවුන්ට ඕනෑම වෘත්තිකයෙකුගෙන් ප්‍රශ්න කළ හැකි වුවද ඔවුන්ව ප්‍රශ්න කිරීමට කිසිවකු නැත). පෙරදිග විද්‍යාත්මක ක්‍රමයේ සෑම පුද්ගලයෙකුම පරීක්ෂකයෙකි. එකී පරීක්ෂාව අසාර්ථක නම් ඒ දැනුම අතහැර දැමීමට ඕනෑම අයකුට නිදහස ඇත. උදා ලෙස ජ්‍යෙතිෂ්‍යවේදීයකු ළගට යන සෑම කෙනෙකුම යම් පර්යේෂණයක් කරයි. ඔහු කියන දෑ තමා දන්නා දෑ සමග සසදා බලයි (වෙනත් වචනවලින් කියන්නේ නම් ඒ දැනුම ‘තමා තුළට පමුණුවාගෙන බලයි‘. මිනිස්සු සෑම ජ්‍යෙතිෂ්‍යෙව්දීයකු වෙතම නොයති. සමහර බොරු කියන බව තේරුණ විට අත්හැර දමති). මෙහිදීද පරීක්ෂණයක් කෙරෙයි. එකම වෙනස මේ පරීක්ෂණ අවුරුදු දහස් ගණනක් තිස්සේ බොහෝ දෙනා කරන්නක් වීමය. එය තනි පුද්ගලයෙකු හෝ කුඩා කණ්ඩායමක් විසින් කුඩා නියැදියක් භාවිත කරමින් කරන පර්යේෂණයකට වඩා සාධාරණ නොවේද? නමුත් බොහෝ දෙනා ජ්‍යෙතිෂ්‍ය වැනි දැනුම් ප්‍රතික්ෂේප කරන්නේ ඉහත ආකාරයට පරීක්ෂා කිරීමෙන් නොව හුදෙක් ඒ දැනුම බටහිර විද්‍යාවේ දැනට ඇති ප්‍රවාද වලින් පැහැදිලි කළ නොහැකි නිසාය. මේ ලෝකයේ ඇති දැනට අපට සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය වන සියලුම සංසිද්ධි බටහිර විද්‍යාවේ දැනට නිපදවා ඇති ප්‍රවාදවලින් පැහැදිලි කළ හැකි විය යුතු බවට නියමයක් ඇද්ද? බටහිර විද්‍යාවේ දිගින් දිගටම නව ප්‍රවාද නිපදවන්නේම ඒ සංසිද්ධි පැහැදිලි කරදීමට දැනට ඇති ප්‍රවාද ප්‍රමාණවත් නොවන නිසා නොවේද? එද සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය වන කොටස සදහා පමණි. නිරීක්ෂණය නොවන දෑ ගැන කවර කතාද? ඇත්ත වශයෙන්ම බටහිර දැනුම තුළ පවා මේ ක්‍රමය නිසගයෙන් භාවිත වෙයි. උදා ලෙස මෝටර් රථයක් පදවන අයෙක් ගනිමු. ඔහුට වැදගත් වන්නේ මෝටර් රථයෙන් යම් කාර්යයක් කර ගැනීමය. එනම් එහා මෙහා යාමය. මෝටර් රථය භාවිත කිරීමට යොදා ගෙන ඇති බටහිර භෞතික විද්‍යාවේ එන තාපගතිකයේ ප්‍රවාද (theory), නියම ආදිය ඔහුට වැදගත් නොවේ. සමහර විට මෝටර් රථය ක්‍රියාත්මක වන නිසා ඔහු එම භෞතික විද්‍යා ප්‍රවාද සත්‍ය බව පිළිගනී. එසේ කරන්නේ ඒ ප්‍රවාද පිළිබද විධිමත් හැදෑරීමකින් තොරවය. ඔහුට (හෝ ඇයට) වැදගත් වන්නේ ඒ ප්‍රවාද යොදාගෙන නිර්මාණය කළ යම් ප්‍රායෝගික යෙදවීමකින් යම් ප්‍රයෝජනවත් කාර්යයක් කර ගැනීම පමණි. ජනමාධ්‍ය වලින්ද බටහිර දැනුම සත්‍ය බවට (බොහෝ විට එතරම් නිවරදි නොවන කරුණු මත පදනම්ව) ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනු දැකිය හැකිය. කුඹුරු වැඩ කිරීමට කෙම් ක්‍රමයක් යොදා ගැනීමේදීද මේ ක්‍රියාදාමය මේ ආකාරයටම සිදු වෙයි. එහිදී කෙම් ක්‍රමය යොදා ගන්නා තැනැත්තාට වැදගත් වන්නේ මේ කෙම් ක්‍රමය නිසා කෘමිසතුන්ගෙන් වන හානිය වැළැක්වෙන්නේද නැද්ද යන්න පමණි. එසේ වන්නේ නම් ඔහුට ඒ දැනුම සත්‍ය වෙයි. එහෙත් මෙහිදී බටහිර විද්‍යාවේ සහ තාක්ෂණය සහ මෙවැනි දැනුම් අතර වැදගත් වෙනසක් ඇත. ඒ වෙනස නම් කෙම් ක්‍රම ආදිය ප්‍රවාද මගින් පැහැදිලි කර නොහැකි වීමයි. එයට හේතුව නම් ඒ දැනුම් ප්‍රත්‍යක්ෂයෙන් ලබාගත් දැනුම් වීමයි. බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාද උද්ගමනයෙන් (induction) ගොඩ නගා ගත් දැනුම් වෙයි. එහිදී යම් සීමා සහිත නිරීක්ෂණ ප්‍රමාණයක් පංච ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කොට ඒ නිරීක්ෂණ පැහැදිලි කිරීම සදහා සාධාරණ ප්‍රවාද ගොඩනැංවෙයි. මෙහිදී භාවිත වන්නේ උද්ගමනය න්‍යායයි. පංච ඉන්ද්‍රියන්ට පමණක් තනිව කළ හැක්කක් නැත. හැමවිටම පංච ඉන්ද්‍රියන්ගේ නිරීක්ෂණ හදුනාගැනීමේදී සහ අර්ථ දැක්වීමේදී මනසේ සහභාගීත්වයද සිදු වෙයි. උද්ගමනයේදී නිරීක්ෂණය කරන්නේ සීමා සහිත නිරීක්ෂණ ප්‍රමාණයකි. උදා ලෙස ‘කපුටා කළු පාට සතෙකි‘ යන උපන්‍යාසය (hypothesis) පරීක්ෂා කිරීමට කිසිවකුට අවශ්‍ය වූවා යැයි සිතමු. එහිදී සීමා සහිත කපුටන් ප්‍රමාණයක් නිරීක්ෂණය කොට ඒ නිරීක්ෂණ සමග ඉහත උපන්‍යාසය එකග වන්නේනම් එය ප්‍රවාදයක් ලෙස පිළිගැනේ. ලෝකයේ සිටින සියලුම කපුටන් නිරීක්ෂණය කිරීමක් මෙහිදී සිදු නොවේ. මෙය වෙනත් අයුරකින් ගතහොක් ගණිත අභ්‍යුහනයේදී (mathematical induction) කෙරෙන ක්‍රියාදාමයට සමානය. යම් කිසි ප්‍රතිඵලයක් අංක 1, 2, 3 ආදියට වලංගු වන්නේ නම් සියලුම ධන නිඛිල වලට එම ප්‍රතිඵලය වලංගු වන බවට එහිදී ‘ඔප්පු‘ කෙරේ. එහෙත් 8990500499 යන අංකයේදී ඒ ප්‍රතිඵලය වලංගු වේදැයි අප ‘දන්නේ‘ කෙසේද? එය අපි නොදනිමු. හුදෙක් ඒ අවස්ථාවේදීද ඒ ප්‍රතිඵලය වලංගු වෙනු ඇතැයි අපි ‘විශ්වාස‘ කරමු. උද්ගමනයේදී මේ විශ්වාසය ඉතා වැදගත් වෙයි. ඒ විශ්වාසය නිසාම උද්ගමනයෙන් නිපදවෙන දැනුම අසම්පූර්ණ වෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කරන අනික් ක්‍රමය අපෝහනයයි (deduction). එහිදී යම් ප්‍රස්තුතයක් නිවරදියැයි ගෙන එයින් යම් යම් නිගමනවලට එළඹෙයි. උදා ලෙස ‘All humans are mortal. Socrates is a human. Therefore, Socrates is mortal. යන්න ගත හැකිය. අපෝහන න්‍යාය ඉගැන්වීමේදී මේ වැකිය නිතර යොදා ගැනෙයි. මෙහිදී මුල් වැකිය සත්‍ය නම් එතැනින් අපෝහනය කර සොක්‍රටීස්ද මැරෙන බව ගත හැකිය. උද්ගමනයට වඩා අපෝහනය වඩා නිවරදි ප්‍රතිඵල ලබා දෙන බව කියවෙයි. නමුත් බටහිර දැනුමේ ඉතා වැඩි ප්‍රමාණයක් ඇත්තේ අපෝහනයට වඩා උද්ගමනයයි. මහාචාර්ය නලින් ද සිල්වාට අනුව මෙහිදී යොදා ගන්නා මුල් වැකිය (එනම් ‘සියලු මනුෂ්‍යයෝ මැරෙති‘) යන්නද උද්ගමනයෙන් ලබා ගත්තෙකි. මේ නිගමනයට කවරකු හෝ එන්නේ සියලු මනුෂ්‍යයන් මැරෙන ආකාරය දැකීමෙන් නොවේ. එනයින් ගත් විට අපෝහනයද උද්ගමනයේ ප්‍රතිඵලයකි. අප මේ ප්‍රශ්නය බටහිර විශ්ව විද්‍යාලයක උගන්වන බටහිර විද්‍යාවේ දර්ශනය පිළිබද ආචාර්යවරියකගෙන් ඇසූ විට ඇය පැවසුවේ ඒ මූලික ප්‍රස්තුතය ප්‍රශ්න කළ නොහැකි බවත් එය ‘සත්‍ය‘ ලෙස ගෙන ඉදිරියට අපෝහනය කළ යුතු බවත්ය. බටහිර දැනුම කොතරම් විශ්වාසය මත පදනම් වන්නේද යන්න මින් පැහැදිලි වෙයි. ප්‍රත්‍යක්ෂ්‍යය ක්‍රියා කරන්නේ මේ ආකාරයට නොවේ. එහිදී පංචඉන්ද්‍රියන්ගේ සහභාගීත්වයක් සිදු නොවේ. ඒ වෙනුවට වන්නේ මනසින් සෘජුවම දැනුම ලබා ගැනීමය. නැතහොත් දැනුම නිර්මාණය කිරීමය. එහෙත් ඒ දැනුම සිතීමෙන් ලබා ගන්නා දැනුමක් නොවේ. හුදෙක් දැනීමකි (දැනුම යන සිංහල වචනයෙන්ද දැනීමක් හැගවෙයි. ඒ අනුව මේ වචනය මුලදී පොදුවේ යොදා ගන්නට ඇත්තේ ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගත් දැනුමට බව සිතිය හැකිය). අතීතයේ මේ ක්‍රමය කොතරම් ප්‍රචලිතව තිබුනේද යත් අධ්‍යයනය යන සංස්කෘත වදන යොදා ගෙන ඇත්තේ ධ්‍යානයෙන් තොරව දැනුම නිර්මාණය කිරීම හැගවීමටය. එනම් ප්‍රධාන දැනුම නිර්මාණය කිරීමේ ක්‍රමය ධ්‍යානයෙන් එනම් ප්‍රත්‍යක්ෂයෙන් දැනුම ලබා ගැනීම විය යුතුය. අද අධ්‍යයනය යන වදන යම් ගර්වයකින් භාවිත කළත් එකළ අධ්‍යයනයෙන් ගත් දැනුම ප්‍රත්‍යක්ෂයට වඩා පහත් දැනුමක් ලෙස සැලකුනි. ඒ මන්ද යත් උද්මනය ඒ ඒ පද්ධති වල සහ අවස්ථානුකූලව ඇතිවන විශේෂතා නොසලකා හරින නිසා ප්‍රත්‍යක්ෂයට වඩා අසම්පූර්ණ දැනුමක් ලබා දෙන බැවිනි. බුදු දහමේ හැදින්වෙන ඥාණද මෙසේ ප්‍රත්‍යක්ෂය මුල් කරගත් දැනුම් වෙයි. එසේම ජ්‍යෙතිෂ්‍ය, ආයුර්ෙව්දය වැනි පෙරදිග දැනුම් වලද ආරම්භය සෘෂිවරුන් මෙසේ ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගත් දැනුම් වෙයි. ඒවායේ පොදුබවක් තිබුනද එක් එක් පුද්ගලයාගේ මනසේ දියුණු බව අනුව යම් යම් විශේෂතාද වෙයි. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ මනස යන්නද බුදු දහමට අනුව ඉන්ද්‍රියක් වන බවය. මේ අනුව අපට ප්‍රත්‍යක්ෂය යනු මනස යන ඉන්ද්‍රිය සෘජුවම දැනුම නිර්මාණය කිරීම ලෙසද, උද්ගමනය යනු මනස අනිකුත් ඉන්ද්‍රියන් සමග සංයෝජනය වීමෙන් දැනුම නිර්මාණය කිරීම ලෙසද දළ වශයෙන් හැදින්විය හැක. මෙහිදී මනස සෘජුවම දැනුම නිර්මාණ කරනවා යනු සිතීමෙන් දැනුම නිර්මාණය කිරීමක් නොවන බව තහවුරු කළ යුතුය. සිතීමෙන් තර්කනයෙන් දැනුම නිර්මාණය කිරීමද උද්ගමනයට ඇතුළත් වෙයි. ඒ සිතිවිලි වලටද අනිකුත් ඉන්ද්‍රියන් සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වෙයි. (ඇත්ත වශයෙන්ම පැරණි ග්‍රීකයන්ද මනස ඉන්ද්‍රියක් ලෙස සැලකූහ. ඔවුන් එය හැදින්වූයේ koinḕ aísthēsis යන වදනිනි. එය පසුව ලතින් භාෂාවට sēnsus commūnis නමින් පරිවර්තනය වී වර්තමාන ඉංගිරිසියේ එන common sense යන වදන නිර්මාණ වී ඇත. එහෙත් වත්මන් බටහිර විද්‍යාවෙන් පැරණි ග්‍රීකයන් සතුවූ common sense හැලී ඇත. එහි ප්‍රතිඵල අපට අදටත් වඩා හෙට අත්විදීමට සිදුවනු ඇත). මෝටර් රථයක ක්‍රියාකාරීත්වය ප්‍රවාද වලින් පැහැදිලි කිරීමටත් කෙම් ක්‍රම වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට ප්‍රවාද නැති වීමටත් හේතුව කුමක්ද? එක් හේතුවක් නම් අපට නිරීක්ෂණ වන සෑම දෙයකටම ප්‍රවාද නැති වීමය. කාන්තාරවල ජලය සොයාගැනිමට භාවිත කරන Dowsing ක්‍රමය එයට එක් නිදසුනකි. බටහිර සහ පෙරදිග රටවලද මේ ක්‍රමය භාවිත වෙයි. අප හිතවතකුගේ නිවසට ළගදී පැමිණි පයිප්ප වැද්දුම් කරුවන් පිරිසක් පොළව යට වැළලී ඇති වතුර පයිප්ප සොයා ගැනීමට මේ ක්‍රමය භාවිත කළහ. මෙය සිදු කරන ආකාරය හරිහැටි පැහැදිලි කරන ප්‍රවාදයක් බටහිර විද්‍යාවට නැත. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බටහිර විද්‍යාව ඒ සදහා ප්‍රවාද නිපදවන තුරු බලා සිටීමද? එසේ නැත්නම් (බටහිර විද්‍යාඥයන් සාමාන්‍යයෙන් කරන පරිදි) බටහිර විද්‍යාවට පැහැදිලි කළ නොහැකි මේ සංසිද්ධිය මිත්‍යාවක් යැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමද? නැතිනම් ක්‍රමය භාවිත කරමින් ජලය සොයා ගැනීමද? තවත් උදාහරණයක් නම් අපස්මාර රෝගීන්ට අපස්මාර තත්වය ඇතිවීමට පෙර ඒ බව කලින් දැන්වීමට අනතුරු ඇගවීමට බල්ලන් යොදා ගැනීමය (Seizure-Alert Dogs Save Humans With Early Warnings). සමහර බල්ලන්ට මේ හැකියාව ඇති අතර ඒ හැකියාව ලොව පුරා (වැඩිපුරම බටහිර රටවල) අපස්මාර රෝගීන් යොදා ගනිති. බල්ලන් මෙසේ අනාවැකි කියන්නේ කෙසේදැයි බටහිර විද්‍යාවට පැහැදිලි කළ නොහැකිය. එහෙත් ඒ නොහැකියාව (විය යුතුවාක් සේම) මේ බල්ලන්ගෙන් මේ උපකාරය ලබා ගැනීම වැළැක්වීමට හේතුවක් වී නැත. එපමණක් නොව දැනට පැහැදිලි කර තිබෙනවායැයි කියන නිරීක්ෂණ සහ ඊට අදාළ ප්‍රවාද අතරද සැමවිටම පාහේ සුළු හෝ පරතරයක් තිබේ. ඕනෑම ප්‍රවාදයක උපකල්පන (assumptions) භාවිත වෙයි. එසේම ගණිතමය සමීකරණ වලින් ලැබෙන විසදුම් ප්‍රායෝගික නිරීක්ෂණ සමග සම්පාත කළ විට හැමවිටම යම් වෙනසක් (බොහෝ විට මේ වෙනස error value හෝ deviation වැනි වදනකින් හැදින්වෙයි) ලැබෙයි. මේ වෙනස ඇතැම් විට ඉතා කුඩා නිසා නොසලකා හැරෙයි. එහෙත් එවන් වෙනසක් ලැබෙන බව සැලකිය යුතුය. ඒ ඇයි? අන් කිසිවක් නිසා නොව කිසිම ප්‍රවාදයකින් කිසිම සංසිද්ධියක් 100%ක් පැහැදිලි නොකරන නිසාය. හැම විටම සිදු වන්නේ ආසන්න පැහැදිලි කිරීමකි. බොහෝ ක්ෂේත්‍රවල theory සහ practical යනුවෙන් බෙදීමක් ගොඩනැගී ඇත්තේද මේ නිසාය. ඊටත් වඩා ප්‍රබල හේතුවක් කෙම් ක්‍රම ආදියට ප්‍රවාද නැතිවීමට බලපායි. බටහිර විද්‍යාවේ භාවිත වන උද්ගමනයේදී සියලුම මනුෂ්‍යයන්ගේ ඉන්ද්‍රිය සර්වසම යැයි ගැනෙයි. එක් පුද්ගලයෙකුට නිරීක්ෂණය වන යමක් ඒ ආකාරයෙන්ම අන්‍යයන්ටත් නිරීක්ෂණය විය යුතුයැයි එහිදී උපකල්පනය කෙරෙයි. මේ උපකල්පනයට පදනම් වී ඇත්තේ දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ලෝම සමානය යන සංස්කෘතික විශ්වාසයයි. බටහිර විද්‍යාවේ දර්ශනයේදී ඒ බව උගැන්වෙන්නේ නැති නමුත් බටහිර විද්‍යාවේ එන සාධාරණීකරණයේ (generalization යන අරුතින්) මුල මෙය වෙයි. මේ උපකල්පනය පංච ඉන්ද්‍රියන් පමණක් සැලකුවොත් (යම් යම් ඉන්ද්‍රිය අඩපණ වූ හෝ අය නොසලකා හැරි විට) යම් තාක් දුරකට සත්‍ය වෙයි. එහෙත් මනසද ඉන්ද්‍රියක් ලෙස සැලකුවොත් මේ උපකල්පනය විශාල ප්‍රශ්නයකට මුහුණ දෙයි. අප හැමගේම මනස් වෙනස් බව අපි දනිමු (නානත්ත කායා නානත්ත සඤ්ඤා). වඩා දියුණු මනසක් ඇති පුද්ගලයකුට හෝ සත්වයකුට (බටහිර විද්‍යාව මනුෂ්‍යයන් ගැන පමණක් සැලකුවත් අප එසේ සීමාවක් පනවාගත යුතු නැත) ගෝචර වන දෑ එතරම් දියුණු නැති මනසක් ඇති සත්වයකුට ගෝචර නොවිය හැකිය. එසේ නම් එක් අයකුට ප්‍රත්‍යක්ෂ වන කරුණක් තවත් අයකුට ප්‍රත්‍යක්ෂ නොවිය හැකිය. එවිට අපට සිදු වන්නේ අර ප්‍රත්‍යක්ෂ්‍ය වන පුද්ගලයා කියන කරුණ ගැන විශ්වාසය තැබීමය. පුනර්භවය බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වන නමුත් අපට ප්‍රත්‍යක්ෂ නැත. ඒ නිසා අපට බුදුරජාණනන් වහන්සේ ගැන විශ්වාසයක් තැබිමට සිදුවෙයි. එයට ශ්‍රද්ධාව ආදී වචන යොදා ගත හැකි නමුත් මූලික වශයෙන්ම එය විශ්වාසයකි. ඉන් මෙහා ඇති අනිකුත් දැනුම් ගැන සැලකීමේදීද මෙවැනි විශ්වාස අවශ්‍ය වෙයි. අපි නිරන්තරයෙන්ම බටහිර විද්‍යාඥයන් ගැන විශ්වාසය තබමු. ඔවුන් යම් යම් කතා කියද්දී අප ඔවුන්ව විශ්වාස කරන්නේ ඒ ප්‍රවාද හරි හැටි තේරුම්ගෙන අප විසින්ම පරීක්ෂණ නැවත කිරීමෙන් නොවේ. හුදෙක් ඔවුන් ගැන ඇති විශ්වාසය නිසාමය. බටහිර වෛද්‍යවරයා නියම කරන බෙහෙත අප බොන්නේ ඒ බෙහෙතේ ඇති රසායන සංයුතිය හෝ එහි ක්‍රියාකාරීත්්වය දැනගෙන නොවේ. හුදෙක් ඔහු ගැන ඇති විශ්වාසය නිසාය. ඔහු විශ්වාසය තබන්නේද ඒ බෙහෙත නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් කෙරෙහිය. එය වෙනම කරුණකි. ජ්‍යෙතිෂ්‍ය හෝ ආයුර්වේදය හෝ සිංහල වෙදකම සිංහල ගොවිතැන ආදියේ ඇති දැනුම සම්බන්ධයෙන්ද අප මෙවැනි විශ්වාස තබමු. ඒ අපේ මුතුන්මිත්තන්මේ දැනුම් වලින් යම් වැඩක් ගත් බව ඇති විශ්වාසයෙනි. ඒ දැනුම් නිර්මාණය කළ අය අප පුද්ගලිකව නොදැන සිටියත් ඔවුන් සෘෂිවරුන් ආදී මනස දියුණු කර ප්‍රත්‍යක්ෂයෙන් දැනුම ලබාගත් අය බව අප විශ්වාස කරමු. අපේ විශ්වාසය තහවුරු වන්නේඒ දැනුම් යොදාගෙන අපට යම් වැඩක් කර ගැනීමට හැකිවූ විටය. එසේ නොහැකි වුවහොත් අපේ විශ්වාසය පළුදු වෙයි. මෙය ඕනෑම දැනුමකට අදාළ වෙයි (බටහිර වෛද්‍ය ක්‍රමයේ සමහර ප්‍රතිකාර නිසා ලෙඩ වැඩි වී ඒ ගැන ඇති විශ්වාසය පළුදු කරගත් අයද සිටිති). එසේ නම් ප්‍රවාද යොදාගෙන කෙම්ක්‍රම පැහැදිලි කර ගැනීමට නොහැකිවීමට මේ ඉන්ද්‍රිය වෙනස බලපායි. ප්‍රවාද ගොඩනැංවෙන්නේම ඉන්ද්‍රිය සමානය යන උපකල්පනය උඩය. ඉන්ද්‍රිය සමාන නොවන තැන ප්‍රවාද ගොඩනැංවිමට අවකාශ නැත.මන්ද පොදු නිරීක්ෂණ නැතිව ප්‍රවාදයක්ද නැති බැවිනි. ඒනිසා ප්‍රත්‍යක්ෂයෙන් ගොඩ නැංවෙන දැනුම් පැහැදිලි කිරීමට ප්‍රවාද අවශ්‍ය නොවෙයි. හුදෙක් ඒ දැනුම් වල උපයෝගීතාවක් ඇත්ද යන්න ප්‍රමාණවත් වෙයි. උද්ගමනයෙන් නිර්මාණ කරන දැනුම් වලට ප්‍රවාද අත්‍යවශ්‍ය වෙයි. ඒ දැනුම් වල උපයෝගීතාවයක් ඇතත් නැතත් බොහෝ විට ප්‍රවාද සමග සංගතනම් ඒ දැනුම් සත්‍ය බවට පිළිගැනෙයි. උපයෝගීතාවයක් ඇත්නම් ඒ දැනුම් පොදුජනතාව අතර වඩාත් තහවුරු වෙයි. පොදු ජනතාවට වැදගත් වන්නේ ප්‍රවාද සමග සංගත වීමට වඩා උපයෝගීතාවයයි. ප්‍රත්‍යක්ෂයෙන් සැදෙන දැනුම් වලට අතරමැදියන් නැත. එය පොදු ජනතාවට උපයෝගී කරගෙන පරීක්ෂා කර බැලිය හැකිය. නිෂ්ප්‍රයෝජන නම් ප්‍රතික්ෂේප කළ හැක (එව බලව න්‍යාය මෙහිදීද භාවිත කළ හැකිය). ඒ ප්‍රයෝජනවත් දැනුමක් නම් භාවිත කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට දායාද කළ හැක. එහි කිසිම ප්‍රශ්නයක් නැත. උද්ගමනයේදී වුවද අතරමැදි කණ්ඩායමක මැදිහත් වීම අත්‍යවශ්‍ය නොවේ. එය දැනුමේ ආධිපත්‍යය සුළු පිරිසකට ලබා දෙන වැඩපිළිවලකි. උදා ලෙස ආසනික් ප්‍රශ්නයේදී බොහෝ අයට දැන ගැනීමට අවශ්‍ය වූයේ බටහිර විද්‍යා සගරාවල මේ බව පළ වුනේද යන්නය. මේ සගරා ඉතා අපක්ෂපාතීව කටයුතු කරයිද? කොතරම් වැදගත් දැනුමක් ඉදිරිපත් කළත් ලංකාව වැනි රටකින් ඉදිරිපත් වන පත්‍රිකා පිළිගැනීම මේ සගරා වලින් ඉතා කළාතුරකින් සිදුවන්නකි. මෙවැනි අතරමැදි පූජක පැලැන්තියක් උද්ගමනයට වුව අවශ්‍ය නොවේ. හුදෙක් තම ප්‍රවාදය ජනතාවට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙයි. එහිදී සියල්ලන්ටම තම තම නැණ පමණින් ඒ දැනුම තේරුම් ගත හැකිය. අවශ්‍ය නම් ප්‍රතික්ෂේප කළ හැකිය. අවශ්‍ය නම් උපයෝගී කර ගත හැකිය. එය හැම අතින්ම වඩා ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් වෙයි. ජනතාවට දැනුමේ බලය ලබා දීමේ ක්‍රමයක් වෙයි. වර්තමානයේ බටහිර විද්‍යාවේ ඇත්තේ සුළු පිරිසක් දැනුම පාලනය කරන ක්‍රමයකි. මුළු ලෝකයකම සිටින මිනිසුන් ඒ දැනුමෙන් හසුරුවන පාලනය කරන ක්‍රමයකි. මේ ක්‍රමය නිර්මාණ වීමට ග්‍රික යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති දැඩි මධ්‍යගත ආකෘතිය බලපා ඇත. මේ අධිපතිවාදී ක්‍රමයෙන් බැහැර වීමට කාලය පැමිණ ඇත. පෙරදිග විද්‍යාත්මක ක්‍රමය තවත් වැදගත් නිගමනයක් ලබා දෙයි. එනම් වාස්තවික වූ යථාර්තයක් නැති බවය. සමහරු වාස්තවික යථාර්තයක් නැත යන්න විසංවාදයක්යැයි කියති. එනම් වාස්තවික යථාර්තයක් නැතය යන්න වාස්තවික ප්‍රකාශයක්ය යන අරුතිනි. එහෙත් අප එසේ කියන්නේ චක්‍රීය චින්තනයක සිටිමිනි. වාස්තිවික යථාර්තයක් නැත යන්නද වාස්තවික නැත. එය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව කරන ප්‍රකාශයකි. රේඛීය චින්තනය තුළ සිරවී සාපේක්ෂ බව තේරුම් ගත නොහැකිය. විශේෂිත පිරිසක් දැනුමේ වාස්තවිකත්වය පරීක්ෂා කරන්නට නම් වාස්තවික දැනුමත් තිබිය යුතු විය යුතුය. එබැවින් බටහිර විද්‍යාත්මක ක්‍රමයෙන් දැනුම පරීක්ෂා කිරීමට නම් වාස්තවික දැනුමක් තිබිය යුතුය. වාස්තවික දැනුමක් නැතිනම් මේවා හුදු නිරර්ථක ව්‍යායාම බවට පත් වෙයි. තමනුත් රවටාගෙන අනුන්වත් රැවටීමත් බවට පත් වෙයි. සුළු පිරිසක් පරීක්ෂා කරන දැනුමට වඩා විශාල පිරිසක් පරීක්ෂා කරන දැනුමක් සාපේක්ෂව නිවරදි වීමට සම්භාවිතාව වැඩිය. එසේම කෙනෙකුට සත්‍ය වන දැනුමත් තවත් කෙනෙකුට අසත්‍ය විය හැකිය. එක් අයකුගේ සාපේක්ෂ දැනුම අන්‍යයන් මත නිරපේක්ෂ දැනුමක් ලෙස පැටවීම සාධාරණ නොවේ. අනෙක් අතට ප්‍රවාද මගින් පැහැදිලි කළ හැකි ඊනියා සත්‍ය දැනුමක් නොමැතිනම් කළ හැක්කේ කුමක්ද? කළ හැකි එකම දෙය ඒ දැනුම උපයෝගී කර ගෙන එයින් යම් වැඩක් ගත හැකිදැයි පරීක්ෂා කිරීමය. නැති වාස්තවික දැනුමක් සෙවීමට වඩා එය හැම අතින්ම ඵලදායක වෙයි. පෙරදිග පැවති දැනුම් වල මේ ලක්ෂණය ඇත. බටහිර දැනුම ගොඩනැගෙන්නේ ඝට්ටනයකිනි. එහි හැමවිටම අලුත් දැනුමෙන් පැරණි දැනුම ප්‍රතික්ෂේප වෙයි. අලුත් දැනුම වාස්තවික යථාර්තයට වඩා ආසන්න යැයි හැගවෙයි (එහෙත් එය ඔප්පු කළ නොහැකිය). පෙරදිග දැනුම් වල අලුත් දැනුමෙන් පැරණි දැනුම ප්‍රතික්ෙෂ්ප නොවෙයි. බොහෝ විට පැරණි දැනුම අලුත් දැනුමටහෝ අලුත් දැනුම පැරණි දැනුමට අවශෝෂණය/අනුකලනය (integrate) වෙයි (උදා - බුදු දහම පැමිණීමට පෙර තිබූ ඇදහිලි බුදුදහමට අවශෝෂණය වී පාංශුකූලය සහ බෝධිපූජා වැනි පුදපූජා නිර්මාණය වීම). එසේම සමහර විට ඒ දැනුම් දෙකම එකවිට භාවිත වෙනු දැකිය හැක. ඒ මන්ද යත් ඒ දෙකම වාස්තවික දැනුම් නොවන බැවනි. එක් එක් පුද්ගලයන්ට ඒ ඒ දැනුම් වඩා සත්‍ය විය හැකිය. එකම පුද්ගලයාට වුවද විවිධ අවස්ථාවල විවිධ දැනුම් සත්‍ය විය හැකිය. මේ ලක්ෂණය නොදැනුවත්වම පෙරදිග රටවල සිටින බටහිර විද්‍යාව උගත් පුද්ගලයන් භාවිත කරති. උදා වශයෙන් ලංකාවේ ඇති බටහිර දැනුම උගන්වන විශ්ව විද්‍යාලයක සිටින පීඨාධිපතිවරු පවා ජ්‍යොතිෂ්‍ය වැනි දැනුම් භාවිත කරති. ඊට හේතුව (අවිඥාණිකවම) ඔවුන්ද වාස්තවික දැනුමකට වඩා උපයෝගී දැනුමක් වෙත උනන්දු වීමය. විශ්ව විද්‍යාලයේ උගන්වන විට ඔවුන්ට බටහිර දැනුම සත්‍ය වන අතර තම දියණිය විවාහ කර දීමේදී ජ්‍යොතිෂ්‍ය සත්‍ය වෙයි. එහි විසංවාදයක් ඔවුන්ට නැත. එහෙත් බටහිර රටක සිටින විද්‍යාඥයකු ඒ ආකාරයෙන් කටයුතු කරතැයි සිතිය නොහැකිය. ඔහුට දැනුම සත්‍ය සහ වාස්තවික එකක් වෙයි. තිබිය හැක්කේ එකම දැනුමකි. ඒ බටහිර දැනුමයි. ඔහු යම් දිනක ජ්‍යොතිෂ්‍ය යොදා ගන්නවා නම් ඒ කවදා හෝ බටහිර විද්‍යා ප්‍රවාදවලින් ජ්‍යොතිෂ්‍ය තහවුර කළ දින පමණක් විය යුතුය. එතෙක් ඔහුට ජ්‍යොතිෂ්‍ය මිත්‍යාවක් වෙයි. අවසාන වශයෙන් පෙරදිග දැනුමේ වාස්තවිකත්වයට වඩා උපයෝගිතාවට වැදගත් තැනක් දී ඇත්තේ ඇයි? විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය නිවන වටා ගොඩනැගුනු සංස්කෘතියකි. අප මොන දේ කළත් අන්තිමට නිවන බලාපොරොත්තු වෙමු. එවැනි සංස්කෘතියකට වැදගත් වන්නේ ප්‍රවාද ගොඩනගමින් භෞතික ලෝකය විස්තර කිරීමට උත්සාහ කිරීමට වඩා ලෝකයෙන් නිදහස් වීමකි. ලෝකයද සාපේක්ෂ නම් එය ප්‍රවාද වලින් විස්තර කිරීමට යාම තවදුරටත් නිරර්ථක වෙයි. මේ නිසා ලෞකික ජීවිතයේ අවශ්‍ය කටයුතු කර ගැනිමට අර උපයෝගී දැනුම ප්‍රමාණවත් වෙයි. දිගින් දිගටම ඊතලයේ සම්භවය හෝ ඊතලය ගොඩනැගී ඇති ආකාරය සෙවීමට වඩා ඊතලය ගලවාගන්නා තෙක් තමාටත් අනුන්ටත් නිවිහැනිහිල්ලේ ජීවත් වීමට ඇති දැනුමක් ප්‍රමාණවත් වෙයි. ඒ දැනුම ඊතලය තවත් හිර කරනවා වෙනුවට එය ගලවා ගැනීම පහසු කරන දැනුමක් වේනම් (ධාර්මික ජීවිතයක් ගොඩනගා ගැනීම මගින්. උදා ලෙස ප්‍රාණඝාතය සිදු කරන බටහිර ගොවිතැන වෙනුවට ධාර්මික හෙළ වෙදකම යොදා ගැනීම ) වඩාත් යහපත් වෙයි. - දර්ශන කස්තුරිරත්න
Posted on: Sun, 21 Sep 2014 04:09:09 +0000

Trending Topics




© 2015